ජීවිත කාලයටම මට තරහ ගිහින් තියෙන්නේ තුන් වතාවක් – දිනේෂ් තරංග

ආදරය ආදරය වෙසින් දැනෙන තැන, ප්‍රේමය ප්‍රේමය වෙසින් දැනෙන තැන නවතිනු මිස නොනවතිනු කෙලෙසද?

රැන්ඩෙලා සහ දිනේෂ් ආදරණීය සම්මුතිය තුළ තීරණය එයයි. ජාති, ආගම්, කුල, වර්ණ, වයස, සම්මත, අසම්මත මේ කිසිවක් ආදරයත් ප්‍රේමයත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් හදවතට දැනෙන තැන කිසිදු වෙසකින් වලංගු වෙන්නට හැටියක් නැත.

මෙයින් වසර 15ක තරම් ඈත කාලයකදි රැන්ඩෙලාට දිනේෂ් හමුවුණේ මීගමුව බෝලවලාන මීසමට අයත් පල්ලියේදීය. පල්ලියේ ගීතිකා කණ්ඩායමේ දෙවියන් වෙනුවෙන් ගීතිකා ගැයූ රැන්ඩෙලා සහ දිනේෂ් අද දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ආසිරි ලද ජීවිතයේ ආදර ගීතිකාව සුගායනය කරන ‘යුරු කොයි තරම්නම් ලස්සනද? ඇන්ඩ්‍රියා සහ ෆේත් ඒ ජීවිතවලට නවමු ආදරයක් රැගෙන පැමිණියේද ඒ දෙවියන් වහන්සේගේම කැමැත්ත අනුව විය යුතුය. අවුරුදු දොළහක එක්ව බැඳුණු ජීවිතයේ රස මතක අවුස්සන්නට මීගමුවට ගිය අපි Camelot Beach හෝටලයේදී රැන්ඩෙලා, දිනේෂ්, ඇන්ඩ්‍රියා සහ ෆේත් මුණගැසුණේ ආදරයත් ප්‍රේමයත් සාමයත් ගැන කතා කරනු පිණිස ඒ හැඟීම් හි සුන්දරත්වය මැනවින් දන්නා හඳුනන සුසංයෝගයක් ළඟ නවතින්නට අවැසි වූ නිසාමය.

සම්මතයේ සීමාවන් ඉසියුම් ලෙස සුන්දර ලෙස අතික්‍රමණය කළ හැකි තැන ඇත්තටම සුන්දරය. ‘මම’ මඟ නොහැර තමන්ට අවැසි ජීවිතය හෘද සාක්ෂියට එකඟව සොයා යා හැකි තැන ජීවිතය සුන්දරය. විඳිනු පිණිස සොබාදහම නම් දෙවියන් වහන්සේ විසින් ප්‍රදානය කළ ජීවිතය ගෙවෙන මොහොතක් පාසා ආදරයත් සතුටත් මිශ්‍ර වූ භාවපූර්ණ හදවතින් නිසැකවම විඳිය යුතුය.

රැන්ඩෙලා ඒ අයුරින් ජීවිතය සොයා ගිය, ජීවිතය විඳින, ජීවිතයට ආදරය කරන සොඳුරු හදවතක් ඇති ගැහැනියක ලෙස ඔබට හඳුන්වා දෙන්නට මම කැමතිය. දිනේෂ් තරංග.. සහෘද ශ්‍රාවක ආදරය ඇති තරම්, උතුරා යන තරම් ලබන ආදරණීය ගායකයාගේ සංසාර ප්‍රාර්ථනාවක ජීවන සහකාරිය ඇයයි.

ඉතින් රැන්ඩෙලා. කොහොමද ජීවිතය.

මම හරි ආසයි පෙරළුණු පිට හොඳයි කියන වචනයට. මම ශක්තිමත්ව, මමත් ගැහැනියක් විදිහට සෙවූ ජීවිතය වෙනුවෙන් සාධාරණ අරගලයක් කරපු ගැහැනියක්… තමන් ඉල්ලන, තමන් බලාපොරොත්තු වෙන ජීවිතයක් හැමෝටම තියෙනවා.. මම මගේ ජීවිතය හොයාගෙන ගියේ ඒ හින්දා.. මම හොයපු ආදරය, මම හොයපු රැකවරණය, විඳීම, ජීවිතය සියල්ල දිනේෂ් ළඟ තිබුණා.. දිනේෂ්ටත් මාව ඒ විදිහට දැනෙන්න ඇති.. මම දිනේෂ් ළඟට ආවේ මගේ ලොකු දුව ඇන්ඩ්‍රියාත් එක්ක.. දිනේෂ් සහ මම මවුපියන් කළ දියණිය ෆේත්.. අපි හතරදෙනාම අද ජීවත් වෙන්නේ පුදුමාකාර ආදරයකින් සහ සතුටකින්… ඇන්ඩ්‍රියාට දැන් අවුරුදු 18 ක්. ඇය පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිය හදාරනවා. තාත්තා වගේම වෙච්ච, පොතට පතට එච්චර ප්‍රිය නැති අපේ චණ්ඩි කෙල්ල ෆේත්ට දැන් අවුරුදු 11 යි. දුවලා දෙන්නා එයාලගේ ස්වභාවයන් ගති පැවතුම් අනුව සම්පූර්ණයෙන්ම දෙවිදිහක්.. වෙනස්… ඒ දෙන්නා හරි ආදරණීය දරුවන්.

ඇත්තටම අපි දෙන්නා ආදරය කරලා එකට යන්න පටන් ගත්ත ගමනක් නෙවෙයි මේ… ආදරය දැනුණම, අපිට අපි ඕනෑ කියලා හිතුණම අපි අපේ අත් අල්ලා ගත්තා… අපි සැලසුම් කරලා ජීවිතය පටන් ගත්තා නෙවෙයි.. අපි දෙන්නා සැමියා සහ බිරිඳ විදිහට ජීවිතය පටන් ගත්තට පස්සේ ආදරය කරමින්, සැලසුම් කරමින්, සතුට විඳිමින් ජීවිතය දරාගෙන, ජීවිතය හොයාගෙන මේ ගමන යන්න පටන් ගත්තා.. ගැහැනියක් සාධාරණ තීරණයක් ගන්න අවශ්‍ය කිසිම තැනකදි සමාජය, සංස්කෘතිය, සම්ප්‍රදාය මේ කවරක් වුණත් නිර්මාණය කරපු රාමු බිඳගෙන යන්න බිය විය යුතු නැහැ කියන තැනයි මම ඉන්නෙ.. හැම කෙනෙක්ම හොයන්නෙ ආදරය සහ සතුට නම් එය සැබෑ ලෙස මුණගැසෙන තැනක නවතින එක කොහොමද වරදක් වෙන්නේ… ඇත්තටම මම ආයෙත් කියන්නේ අපි ආදරය කරන්න පටන් ගත්තේ මේ ගමන යන්න පටන් ගත්තට පස්සේ.. දිනේෂ් මට වෙලාවකට දැනෙන්නේ මගේ දරුවෙක් වගේ.

සැබැවින්ම ගැහැනියක හදවතේ ගැඹුරුම අක්මුල් සිසාරා පිරිමියෙකු වෙනුවෙන් ප්‍රේම කරන කල්හි එය ළය ළෙයට මුල් ඇදගත් හැඟීමක් බවට පරිවර්තනය වෙයි. ඉඳින් අනුරාගයේ වර්ණය යම් මොහොතකට ඒ ආදරණීය චිත්‍රයෙන් දුරස් කරන එක් මොහොතක් වෙත්ද ඒ හැම මොහොතකම ආදරණීය බිරිඳකගේ ස්නේහය මාතෘත්වය හා සසැඳෙයි.

දිනේෂ් මට කතා කරන්නේ අම්මා කියලා. තමන්ගේ සැමියාට නැත්නම් ප්‍රේමවන්තයට තමන්ගේ බිරිඳ, පෙම්වතිය අම්මා කෙනෙක් වගේ දැනෙනවා නම්… ඇයට තමන්ගේ සැමියා, ප්‍රේමවන්තයා තාත්තා කෙනෙක් වගේ දැනෙනවා නම් මම විශ්වාස කරන්නේ ඒ බැඳීම හරි සුරක්ෂිතයි… සහකරුවන් ජීවිතයට ඕනෑ තරම් හොයාගන්න පුළුවන් කෙනෙක්ට.. ඒත් සැබෑ ආදරය සහ සුරක්ෂිත බව හොයාගන්න හුඟාක් අමාරුයි.. ඔහුට මම ‘අම්මා’ නොවුණ අම්මා වුණේත්, මට ඔහු ‘තාත්තා’ නොවුණ තාත්තා වුණේත් ඒ පදනම මත.

එයා සංගීත ප්‍රසංගයකට ගියත් ඇඳුම් සපත්තු සූදානම් කරලා එයාගේ හැමදේම පිළිවෙලට ලෑස්ති කරන්නෙ මම. මොනවම හරි දෙයක් මට කියන්න ඕනෑ වුණාම එයා මගේ ළඟට ඇවිත් කියන්නේ අම්මා කෙනෙක්ට ඒ දේ කියනවා වගේ.. අපි දෙන්නා අතර තියෙන්නේ ඒ වගේ ලස්සන බැඳීමක්.. රැන්ඩෙලා ආදරණීයව කියයි.

දිනේෂ් ඉතින්… හදවතින්ම නැගෙන සිනහව යනු දිනේෂ් තරංගගේ ආකර්ෂණයේ මුල්ම රහස යැයි සිතෙන තරමට ඒ හිනාව ප්‍රියමනාපය. “මීවිත පිරුණා..” එතනින් නේද මේ ගමන පටන් ගත්තේ.

ඔව් ඒ මගේ පළවෙනි සින්දුව… මුල්ම කාලේ මට එහෙම අද වගේ ප්‍රසංග තිබුණෙ නෑ… ඒත් මම කවදාවත් ගායකයෙක් වෙන මගේ හීනය අත්හැරියේ නෑ… ඒ ආසාව ඇතුළේ මම හැමදාම ජීවත් වුණේ. මීවිත පිරුණා සින්දුව අරගන්න සල්ලි හොයාගත්තේ පොලියට.. මට මතකයි රුපියල් විසිපන්දාහක් පොලියට අරගෙන ගිහින් තමයි ඒ සින්දුව අරගත්තේ. සමහර දවස්වලට රුපියල් දාහක් වියදමට ඉල්ලාගත්තේ තාත්තාගෙන්.. රුපියල් දාහෙන් අපි සතියක් ජීවත්වෙලා තියෙනවා.. වරක් මම නලින් පෙරේරාට ඔහුගේ ඉල්ලීමක් අනුව තනුවක් නිර්මාණය කරලා දුන්නා… මට පුදුමයි කාලෙකට පස්සේ ඔහු ඒ වෙනුවෙන් මට රුපියල් 25,000ක චෙක්පතක් එව්වා… ඒ වගේ සුන්දර මිනිස්සු වගේම අසුන්දර මිනිස්සුත් මේ ක්ෂේත්‍රය තුළ මුණගැහිලා තියෙනවා.

දිනේෂ් තරංග යනු අද වනවිට ජනප්‍රියත්වයත් සහෘද ශ්‍රාවක ආදරයත් නොඉල්ලමින් ලබන ගායකයෙකි. ඔහු විසින් ගයන මා නුඹට පෙම් කළේ. ඉරණම් ගමනේ, හැදුණද රිදුණද හිත මාගේ වැනි ගීතවලට විශේෂයෙන් කොළඹින් එහා ප්‍රසංගවලදී දැඩි ආකර්ෂණයක් ප්‍රසාදයක් හිමිවෙයි.

ඇත්තටම ඒ සින්දු සමහර ප්‍රසංගවලදි කියන්නෙ මම නෙවෙයි… මගේ සහෘදයන්.. මම මගේම ගීත මේ වෙද්දි විස්සක් විතර කරලා තියෙනවා… මුලින් කියපු ගීතත් එක්ක මීවිත පිරුණා, මේ හිත රහසින් කීවා වැනි මගේ ගීත අටක් විතර හුඟාක් ජනප්‍රිය වුණා.. සමහර පිරිමි ළමයි සින්දු කියලා ඉවර වුණාම ඇවිත් මගේ අත අල්ලාගෙන අඬනවා. මේ ළඟදි කටුනායක ප්‍රසංගයකට ගිහින් ගෑනු ළමයි වගයක් ආවා.. ඒ එක ළමයෙක් ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා මට ලොකු තෑගි පෙට්ටියක් ගෙනත් දුන්නා… ඒකෙ තිබුණේ එයාගේ පුංචි පුංචි නිෂ්පාදන… මට වටින්නේ ඒ තෑග්ග නෙවෙයි හිතුවිල්ල… ගීතයෙන් සංගීතයෙන් මිනිස්සු පිනවලා මේ ලැබෙන ආදරයේ වටිනාකම ගැන වචනයෙන් කියන්න මම දන්නැති තරම්.

දිනේෂ් යනු සංගීතයට පමණක් නොව මූර්ති නිර්මාණයට, චිත්‍ර ශිල්පයට, නර්තනයට, රංගනයට, මේ සියල්ලට එක සේ දස්කම් දක්වන ගායකයෙකි. සංගීතඥයෙකි.

වොලාරේ සංගීත කණ්ඩායම මගේ. ඇත්තටම දැන් මට හුඟාක් ප්‍රසංග තියෙනවා රට වටේම… වැඩියෙන්ම ආදරය හම්බවෙන්නේ කොළඹින් පිට ප්‍රසංගවලදි. සින්දු කියන්න වගේම රඟපාන්නත් මම හරි ආසයි. නාට්‍ය තුනක මම රඟපාලා තියෙනවා.. සංජානා ගමාරච්චි, මම, කැළුම් ශ්‍රීමාල් ප්‍රධාන චරිත රඟපාන නයන ප්‍රසන්න ජීවන්දර නිෂ්පාදනය කරන The Target ටෙලිනාට්‍ය ඉදිරියේදි මගේ ප්‍රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වෙයි. එහි තේමා ගීතය ගයන්නෙත් සංගීත අධ්‍යක්ෂණය කළෙත් මමමයි. ඇත්තටම රඟපාන්න තියෙන ආසාව නිසාම මම මගේ මීවිත පිරුණා පළමු සින්දුව ඇතුළු මගේ මියුසික් වීඩියෝවල මමම රඟපෑවා. මම හරිම ආසයි සිනමාවට.. චිත්‍රපටයක රඟපාන්න ලොකු ආසාවක් කැමැත්තක් මගේ හිතේ තියෙනවා.

රැන්ඩෙලා කැමතිද ඒකට.. ඒ ප්‍රශ්නය රැන්ඩෙලාටය.

බිරිඳක් විදිහට නම් සීයට සීයක් එයා රඟපානවට මම කැමති නෑ.. ඒත් එයාට හුඟාක් ආදරය කරන මා තුළ ඉන්න අම්මා එයාගේ ආසාවන්වලට ඉඩ දෙනවා.. එයාව ආදරයෙන් බලාගෙන එයාගේ කැමති දේවල් එක්ක එයාගේ ගමන යන්න ඉඩ දෙනවා… ඒ ඇගේ උත්තරයයි.

කොච්චර කාර්යබහුල වුණත් දිනේෂ්ට ඔයාලා මඟඇරෙන් නෑනේ ඉතින්.

ඔව්… පුළුවන් හැම වෙලාවකම එයා අපි එක්ක එළියට යනවා… අපි හරි ආසයි ඉන්දියානු කෑම බීමවලට… සයිව කඩේට යන තැන ඉඳන් සාමාන්‍ය කඩවල්වලින් පවා අපි ගිහින් කනවා… තෝසේ ඉඳිආප්ප කන්න අපි හරි ආසයි… ඇත්තටම අපි එහෙම හුඟාක් ජීවිතය විඳිනවා… දිනේෂ් නිසා මමත් අද මිනිස්සුන්ගේ ආදරය ලබනවා.. මේ ළඟදි සාදයකට ගියා මගේ යාළුවෙක්ගේ. එයාගේ යාළුවෙක් මට දුරකථනයෙන් කතා කරලා අඬන්න ගත්තා අනේ අක්කා මට ඔයාට කතා කරන්න ඕනෑ කියලා.. මම ඉතින් හරි ආදරෙන් අඬන්න එපා කියන්න කියලා එයාට හරි කරුණාවෙන් කතා කළා… එහෙම අත්දැකීම් හරි සංවේදීයි…

හරි ලස්සන හිනාවක් හැමතිස්සේම දිනේෂ්ගේ මූණෙ ඇඳෙන්නේ ඇත්තටම එයා තරහ ගන්නෙ නැති කෙනෙක්ද?

අනේ ඔව්.. මාත් එක්ක නම් කවදාවත් තරහ අරගෙන නෑ… කොහොමත් එයාට තරහා යන්නෙම නෑ.

ඇත්තද දිනේෂ්.

ඔව්.. මට මුළු ජීවිත කාලෙදිම තරහ ගිහින් තියෙන්නේ තුන්පාරයි. ඒත් මගේ බිරිඳ එක්ක නෙවෙයි. ඉතින් ආදරයත් සතුටත් ඔවුන් අස වග තවත් කුමට කියන්නද මට සිතේ. සීතල සුවදායක දෙසැම්බරය. අසිරිමත් නත්තල. ලෝකයටම ආදරණීය නත්තලක් වෙනුවෙන් සුබ පතමුද දිනේෂ්.

ඔව්.. ඒත් මට ඊට ඉස්සර කියන්න දෙයක් තියෙනවා.. අපි බෞද්ධ නොවුණත් අපි හතරදෙනාම මුල්ම වතාවට වරක් සිරිපාදේ ගියා. අපිට ලොකු පින්කමක් කරන්න ලැබුණා.. සිරිපාදෙ මළුවෙ තීන්ත ගාන්න මම බාරගත්තා.. මගේ හිතවත් කෙනෙක් නිසා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ… සිරිපාදෙ දක්වා තීන්ත බඳුන් මගේ අතින් ගෙනියන්න හැදුවත් ඒක නම් මට කරන්න බැරි වුණා… ඒත් හාමුදුරුවන්ට පූජා කරන්න පිරිකර, දානයට ගන්න කෑම වර්ග, මම උස්සාගෙන ගියා… ඒක හරිම සතුටක්.. වෙනස්ම අත්දැකීමක්… සැබැවින්ම මනුෂ්‍යත්වය සහ ආදරය තරම් සොඳුරු අන් යමක් මේ විශ්වයෙහි නැත.

ආදරය.. සතුට.. සිනහව.. සබැඳි ආදරණීය සුබ නත්තලක්… ඒ දිනේෂ්ගේත් රැන්ඩෙලාගේත් ඇන්ඩ්‍රියා සහ ෆේත්ගේත් පැතුමයි!

අපේ පැතුමත් එයමයි.

සංජීවිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *