ආදරය කරලා විවාහ වෙනවාට වඩා විවාහ වුණාට පසුව ආදරය කරන එක හොඳයි කියලා හිතනවා – ශලනි තාරකා

ශලනි තාරකා කියන්නේ ලාංකීය කලා ක්ෂේත්‍රයට නැතිවම බැරි ඉතාමත් දක්ෂ සුරූපී තාරකාවක්. ඇය මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහා ලෙසින් වගේම ITN නාලිකාවේ විකාශනය වන මීනූ ටෙලි නාට්‍යයේ අසේකා ලෙසින්ද ප්‍රේක්ෂක ආදර දිනාගැනීමට සමත් වෙලා තිබෙනවා. ඒ වගේම 2019 රයිගම් ටෙලි සම්මාන උළලේදී වසර 24කට පසු හොඳම නිළිය සම්මානයත් ජනප්‍රියම නිළිය සම්මානයත් එකවර දිනාගැනීම ඇයගේ දක්ෂතාවයට හොඳම උදාහරණයක්. ඉතින් ඇය මේ දිනවල ජීවිතය ගැන මේ විදිහට පැවසුවා.“මේ අවුරුද්දේ අනිත් අවුරුදුවලට වඩා ටිකක් කාර්යබහුල වුණා. වැඩ වැඩි වුණා. මම මටම කියලා ගෙයක් ගත්තා. තමන්ටම කියලා ගෙයක් ගන්න එක හැම කෙනාගෙම හීනයක්. කාලයක් තිස්සේ ඒ හීනය හැබෑ කරගන්න මහන්සි වුණා.කොරෝනා නිසා හැමෝටම තියෙන අපහසුතා අපිටත් තියෙනවා. ඒත් මොකක්හරි වාසනාවකට මට කලා ක්ෂේත්‍රයේ වැඩ අඩුවුණේ නැහැ. ඒ නිසාම මට මගේ පෞද්ගලික ජීවිතේ කටයුතු ටික කරගන්න පුළුවන් වුණා. ඒ වගේම කොරෝනා වසංගතයෙන් වසර එකහමාරක් විතර පරිස්සම් වෙලා ඉඳලා අවසානයේදි මටත් වැලඳුණා. ඊට පෙර හතර පස් වතාවක් නීරෝධායනය වුණා. අවසානයේ එක් පිරිසකගේ වගකීම් විරහිතකම නිසා අපිටත් කොරෝනා හැදුණා. තවමත් එහි ප්‍රතිඵල විදිහට සුළු ආබාධ තියෙනවා.”

ඒ වගේම මේ දිනවල හැමෝම ආදරය කරන ස්නේහා ගැනත් මේ විදිහට පැවසුවා.“”කියාදෙන්න ආදරේ තරම්” ටෙලිනාට්‍යයේ ස්නේහාගේ චරිතය. ස්නේහාගේ චරිතය යම්තාක් දුරට මගේ චරිතයට සමානයි. සමහර ජවනිකා මට රඟපාන්න ලේසියි. සිදුවීම් වෙනස් වුණාට ඒ හැඟීම් දන්න නිසා මට පහසුයි ඒ චරිතය ගොඩනඟන්න. හිටපු ප්‍රේමවන්තයා මියගිය ඒ ප්‍රේමය හිතේ තියාගෙන තවමත් ළතැවෙන තරුණියක් ස්නේහා කියන්නේ. මගේ ජීවිතේ වුණු යම් යම් සිදුවීම් නිසා ඒක මටත් සමීපයි. නමුත් සිදුවීම් වෙනස්. ඒ නිසා මට ස්නේහාව ටිකක් ළඟයි. ඒත් මම එකම දෙයක එළඹගෙන කාලය වැය කරන කෙනෙක් නෙමෙයි. ස්නේහා කියන්නේ එකම දෙයක් මත්තෙම වෙහෙසෙන පිරිමින්ට වෛර කරන එක තැන ජීවිතේ රඳවා.ගෙන එයාගෙන්ම පළිගන්න කෙනෙක්. මම එහෙම නෙමෙයි. මම ඕනේම වේදනාවකින් පීඩා විඳලා කාලයකට පසු යථාවත් වෙන කෙනෙක්. මම රංගනයේදී ආයෙමත් ආදරවන්තියගේ චරිතයක් කරනවා. පසුගිය කාලේ මට ලැබුණෙම ටිකක් සම්හාව්‍ය ගණයේ චරිත සහ වෙනස් චරිත. මේ ටෙලිනාට්‍යය ඇතුළේ තියෙන ගුප්තම චරිතය තමයි ස්නේහා. ඇත්තටම කිව්වොත් ටෙලිනාට්‍යයේ ඉන්න දුෂ්ඨයන්ටත් වඩා වෙනස් ගුප්ත චරිතයක් ස්නේහා. එයා හරියටම කවුද කියන එක තවම ප්‍රේක්ෂකයන්ට වැටහෙන්නේ නැහැ. මේ ටෙලිනාට්‍යයේ නම “කියාදෙන්න ආදරේ තරම්” නිසා මම හිතනවා ඇය ආදරේ හොයන ආදරේ දෙන්න කැමති තරුණිය කියලා.

ඇය ආදරේ අහිමි වුණු තරුණියක්. ඇය ආදරේට වෛර කරනවා. එහෙත් ස්නේහා ආදරේට ලෝභයි කියලා මම දන්නවා.මට මේ චරිතයට ආරාධනා කළේ අධ්‍යක්ෂක ධනුෂ්ක රත්නායක සහ පිටපත් රචක මහේෂ් රත්සර මද්දුමාඅරච්චි. මේ දෙපළ සමඟම මම වැඩ කරන්න ආසාවෙන් හිටියේ. මේ මම වැඩ කරන මහේෂ් අයියාගේ පස්වැනි පිටපත. ධනුෂ්ක අයියත් එක්ක මීට කලින් මට දිගටම වැඩ කරන්න හම්බුණේ නැහැ. මහේෂ් අයියාගේ පිටපත් කොහොමත් හරිම රහ ආදරේ උතුරන්න තියෙන පිටපත්. සමාජයේ නිතර ගැවසෙන චරිතයි ඔහු කතාවලට අන්තර්ගත කරන්නේ.මේ චරිතය නොහිතන විදිහට ප්‍රේක්ෂකයෝ වැලඳගත්තා. මුලින්ම ටෙලිනාට්‍යයට සම්බන්ධ වනවිට මම හිතුවේ නැහැ මේ ටෙලිනාට්‍යය මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. අන්තර්ජාලයට ගියත් සාමාන්‍ය ජීවිතයේ වුණත් වයස් භේදයකින් තොරව හැමෝම මේ චරිතයට ආදරෙයි. සමස්තයක් ලෙස ප්‍රේක්ෂකයෝ හැමෝගෙම ආදරේ දිනාගත්ත ටෙලිනාට්‍යයක් බවට “කියාදෙන්න ආදරේ තරම්” පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ ටෙලිනාට්‍යයට වෙනම රූපරචනාවක් සහිත ගීතයක් නිර්මාණය කළා. පැය හතක් ඇතුළත යූටියුබ් එකේ ට්‍රෙන්ඩින්ග් වුණා මේ ගීතය. හරිම සහයෝගයෙන් අපි හැමෝම මේ ටෙලිනාට්‍ය කණ්ඩායම එක්ක වැඩ කරන්නේ. අපි කොයිතරම් හිතවත් ද කියනවා නම් අපි හැමෝටම අපි නැතුව බැරි තරම්. ඒ නිසා වෙන්නැති මේ ටෙලිනාට්‍ය මේ තරම් සාර්ථක වෙලා තියෙන්නේ.”

ඒ වගේම ආදරය විවාහය ගැනත් මේ විදිහට පැවසුවා.“ඇත්තටම මට ඒ ගැන හිතන්න කාලවේලාවත් අවමයි. එහෙම ආදරේ කරනවා නම් ඒ පුද්ගලයා වෙනුවෙන් වෙනම වේලාවක් වෙන් කරන්න ඕනේ. මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඒක ටිකක් අමාරුයි සහ මම විවාහය කියන කාරණාවට ඉක්මන් වෙන්නේ නැහැ. අපේ ජීවිතයට කෙනෙක් එන්න ඉන්නව නම් ඒ කෙනා හරිම වෙලාවට එයි. මටත් ඉරණම්කාරයෙක් කොහෙහරි ඇති. එයා වෙලාවට එයි. ආදරය කරලා විවාහ වෙනවාට වඩා විවාහ වුණාට පසුව ආදරය කරන එක හොඳයි කියලා දැන් හිතනවා.යම් කිසි ආකර්ෂණයක් තියෙනවා නම් විතරයි අපි කෙනෙක්ට කැමති වෙන්නේ. කොච්චර හොඳ මිනිස්සු හිටියත් යම්කිසි දෙයකට ආකර්ෂණයක් නැතිනම් අපි ඒ කෙනාට කැමති නැහැ. ඒත් දැන් ඊට වඩා ජීවත් වෙන්න පහසු ලේසි පුද්ගලයාව හොයන්නේ. සමාජ මතයක් තියෙනවා “කෙනෙක් නැතුව ජීවත් වෙන්න බැරි නම් ඒ ඒ කෙනාවම කසාද බඳීන්න” කියලා. මම ඒක පිළිගන්නේ නැහැ. ජීවත් වෙන්න නැතුව බැරි කෙනා නෙමෙයි, ජීවත් වෙන්න පුළුවන් කෙනා එක්කයි අපි ජීවත් වෙන්න ඕන.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *