ප්‍රිහාන්ටත් මට හා සමානව, සමහර වෙලාවට ඊටත් වඩා කේන්ති යනවා – නතාෂා පෙරේරා

නතාෂා පෙරේරා කියන්නේ කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඒ වගේම ගායන ශිල්පිනියක්. ඉතින් ඇය මේ දිනවල අලුත්ම තොරතුරු මේ විදිහට පැවසුවා.“මේ දවස්වල අලුත් ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. අපි ලංකාවට ඇවිත් දැන් ටිකක් කල් වෙනවා. ලංකාවේ හිටියේ නැති නිසා නිර්මාණයක් කරන්න බැරිවුණා. ඒ නිසා අලුත් නිර්මාණයක් ළඟදීම එළිදක්වාවි. ඒක ආදර ගීතයක් වේවි. මම තාම ආදරේ කියලා ගීතයක් එළිදැක්වූවා. ඒකට වීඩියෝවක් කළේ නැහැ. ඒක සංගීතවත් කළේ සරිත එදිරිසිංහයි. රචනා කළේ සාගර බණ්ඩාරයි. ඉතින් ඉදිරියේදී තවත් ගීතයක් ඒවි.”ඇය ඕස්ට්‍රේලියාවේ ගතකල කාලය ගැනත් මේ විදිහට පැවසුවා.“අපි අවුරුදු දෙකහමාරක් තුනක් වගේ කාලයක් ජීවත්වුණේ ඕස්ට්‍රේලියාවේ. අපිට ඒ රටේ ස්ථීර පදිංචිය ලැබුණා. ඒ රටට ගිය නිසාම මට නිර්මාණවලට දායකවෙන්න ලැබුණෙත් නැත්තේ. මම ඉපදුනේ ඉතාලියේ රෝමයේයි. මට මාස දෙකක් වුණාට මගේ අම්මි ලංකාවට ඇවිත් තියෙනවා. ඒ නිසා මම හැදුනේ වැඩුනේ ලංකාවෙයි. මගේ මව්රටත් ලංකාවයි. ඉපදුනේ ඉතාලිය වුණාට මගේ ජීවිතේ හැමදේම වුණේ ශ්‍රී ලංකාවෙයි. මට මිනිස්සු ආදරය කරන්න පටන් ගත්තේ ලංකාවෙයි. ඒ නිසා මගේ ජීවිතේ ලංකාවෙයි තියෙන්නේ.”

ඒ වගේම ඇය ඇයගේ අධ්‍යාපන කටයුතු ගැනත් මේ විදිහට පැවසුවා.“මම මුලින් ඉගෙන ගත්තේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේයි. පසුව කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසැලෙන් ඉගෙන ගත්තා. මම ඒ කාලේදී ගොඩක්ම තැන්පත්, පාඩම්වලට ලැදි චරිතයක්. ගොඩක් දෙනෙක් %දඟමල්ල^ ටෙලිනාට්‍යයෙත් දඟමල්ල නමින් මාව හඳුනාගත්තා. නමුත් පාසැලේදී මම ඒ චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. මම හැමවෙලේම පාඩමට මුල්තැන දුන්නා. මම කලාව පටන් ගත්තෙත් ඉතාම කුඩා වයසේදියි. ඒ කලා කටයුතු කළත් පාසැල් වැඩකටයුතු මම කවදාවත් අතපසු කළේ නැහැ.මම පුංචි කාලේ ඉඳන් මම ගීත ගායනා කරන්න හැකියාව තිබුණා කියලා මගේ අම්මි දැනගෙන හිටියා. ඒ නිසා අම්මිට මට ගීතයක් කරන්න ඕන වුණා. ඒ නිසා තමයි සුළඟක් වී ගීතයට මඟ පෑදුණේ. මේ මොහොතේදී රෝහණ ධර්මකීර්ති මහතාට මම ආදරෙන් මතක් කරනවා. ඔහු තමයි සුළඟක් වී ගීතය සංගීතවත් කළේ. ඒ ගීතය පද රචනා කළේ අද අපි අතරේ නැති ආනන්ද හේවා රංහිඳගේ මහතායි. මේ ගීතය නිර්මාණය වුණාම හැමෝගේම තීරණය වුණේ මේකේ අප්පච්චිගේ ගී කොටස ගායනා කරන්න සුදුසු වන්නේ එඩ්වඩ් ජයකොඩි මහතා කියලයි. ඉතින් එඩ්වඩ් මාමාත් ඒකට කැමැති වුණා. මම හිතන විදිහට මගේ ජීවිතේ හැරවුම වුණේ සුළඟක් වී ගීතයයි.පුංචි කාලේ මම ආසාවෙන් හිටියේ වෛද්‍යවරියක් වෙන්නයි. මගේ නැන්දි නිසා පුංචි කාලේම මම වෛද්‍යවරියක් වෙන්න ආසා කළා. එයා වෛද්‍යවරියක්. හැබැයි දෛවපෝගත විදිහට අවසානයේදී මාව නීතිඥවරියක් කළා. මොන වෘත්තිය කළත් ඒක සමාජයට හිතැති නිසා නීති වෘත්තිය මම තෝරාගත්තා. මම University of London නීතිවේදී උපාධිය ලබාගත්ත. ඊට පස්සේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවුරුදු තුනක විභාගය අවුරුද්දකින් අවසන් කරලා 2015 දෙසැම්බර් මාසේ දහවැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් විදිහට දිවුරුම් දුන්නා.”

ඒ වගේම මේ වනවිට විවාහ වෙලා ඉන්න ඇය තම ආදරණිය සැමියා ප්‍රිහාන් ගැනත් මේ විදිහට පැවසුවා.“ප්‍රිහාන් ගායනා කරන යායට පායන ගීතයේ කොටසක් ගායනා කරන්නේ මම. ඊට කලින් ප්‍රිහාන් මාත් එක්ක ගීතයක් ගායනා කරන්න කැමැතියි කියලා අපෙ අම්මිට කිව්වා. ඒ වෙනුවෙන් කතා කරන්න ප්‍රිහාන් අපේ ගෙදර ආවා. හැබැයි එයා ඒ හිතපු ගීතය නම් සිද්ධ වුණේ නැහැ. පසුකාලීනව ප්‍රිහාන් ගායනා කරන යායට පායනා ගීතයට මට ආරාධනා කළා. මුලින් අපි දෙන්නා හොඳ යාළුවෝ. ඊටපස්සේ තමයි පෙම්වතුන් වුණේ.දැන් අපි දෙන්නා විවාහවෙලා අවුරුදු පහමාරක් වෙනවා. ප්‍රිහාන් එයාගේ ව්‍යාපාර කටයුතුවලට සහභාගි වුණ නිසා ඔහු වැඩිය නිර්මාණ කළේ නැහැ. ඔහු ඔහුගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. මම මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා මගේ රැකියාවේ කාර්යබහුල වුණා. ඒ හැමදේම සමබරව කරගෙන යනවා. ප්‍රිහාන් එක්ක ආදරෙන් හොඳ ජීවිතයක් ගතකරනවා. ඇත්තටම මුලින් නම් මම හිතාගෙන හිටියේ අපි දෙන්නාගෙන් කේන්ති යන්නේ මට කියලයි. හැබැයි ප්‍රිහාන්ටත් මට හා සමානව, සමහර වෙලාවට ඊටත් වඩා කේන්ති යනවා. ඉතින් එයාට කේන්ති යද්දී මම ඉවසනවා. මට කේන්ති යද්දී එයා ඉවසනවා. ඒ නිසා අපි අතරේ කේන්තිය දුරදිග යන්නේ නැහැ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *