ආනන්ද අතුකෝරලගේ දුව නිසා එන ආදරයකට වඩා අපිට දැනෙන කෙනෙක් ලැබෙන්න ඕනේ

ඉෂාරා අතුකෝරල කියන්නේ මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය වෙලා ඉන්න ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක්. ඉතින් මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය ව ලංකාවේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයක් වන පාරදිගේ ටෙලි නාට්‍ය තුලින් ඇය අපේ ආලින්දයට එනවා. ඉතින් ලාංකීය කලා ක්ෂේත්‍රයේ ප්‍රවීන රංගන ශිල්පියෙක් වන ආනන්ද අතුකෝරල මහත්මයාගේ එකම දියණිය ඇයයි.ඉතින් ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා.”තාත්තා තමයි මගෙ ජීවිතේ වීරයා. උසස් පෙළ ඉවර වුණාට පස්සේ මම රංගනයෙන් දායක වුණා ආත්මා කියන නාට්‍යයේ. ගයාන්-චතුරිකා තමා ඒ නාට්‍යය කළේ. මම හිටියේ ගයාන් අයියගේ නංගි විදියට. ඒක අන්ධ චරිතයක්. ඒ වකවානුවේ හොඳ ප්‍රතිචාර තිබුණා. ඊට පස්සෙත් ආරාධනා ලැබුණා. ඒ දවස්වල ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ.දැන් මම නිවේදනයෙන් සහ නිරූපණ කටයුතුත් කරන නිසා හොඳ චරිතයකට හොඳ නිර්මාණයකට ආරාධනාවක් ආවොත් අනිවාර්යෙන්ම භාර ගන්නවා.පාසල් වේදිකාවේ රඟපෑමෙන් නම් දායක වෙලා නැහැ. මම නර්තනය පැත්තෙන් තමා ඉදිරියට ආවේ.

පාසලේ හැම ප්‍රසංගයකම වගේ නර්තන අංගවලට මම සම්බන්ධ වෙලා තියෙනවා.කොෆි වැඩසටහන ඉවර වෙලා කතා කරන කොට මම කිව්වම තමා ආනන්ද අතුකෝරලගේ දුව කියලා දන්නේ. මම තාත්තා එක්ක ෆොටෝ එකක් දැම්මම හරි ටික් ටෝක් එකක් හරි කළාම දන්නවා මම එයාගේ දුව කියලා. ඒ හැර ඉෂි කියන නමින් මාව දන්නා පිරිසක් ඉන්නවා.මම පොඩි කාලේ ඉඳන්ම තාත්තගේ ලොකු ආශාවක් තිබ්බා මේ ක්ෂේත්‍රයට එනවා දකින්න. මම එතරම් ලොකු කැමැත්තක් පෙන්නුවේ නැති නිසා තාත්තා මට බලපෑම් කළේ නැහැ. මම තාත්තාගේ දුව කියලා මේ ක්ෂේත්‍රයට ආවේ නැහැ. නමුත් දැන් මම නිවේදනයෙන් හෝ නිරූපණයෙන් දායක වෙනවා දකිද්දී තාත්තා ගොඩක් සතුටුයි. මගේ හැම වැඩසටහනක්ම මග නොහැර තාත්තා බලනවා.අම්මයි, තාත්තයි, මමයි ගෙදර ඉන්නේ. අපි හරිම එකමුතුයි. තාත්තා හිනාවෙලා කතා කරලා බොහොම සැහැල්ලුවෙන් ඉන්න නිදහස් චරිතයක්. ආදරෙන් ඉන්න පවුලක් මට තියෙන්නේ. මට සමහර වෙලාවට තාත්තා නැතුව නින්ද යන්නේ නැහැ.”

ඒ වගේම ඇය වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්න කැමති නැති බවත් මේ විදිහට පැවසුවා. “වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්නේ නම් නැති වෙයි. මගේ ඔළුවේ තියෙනවා මගේම ව්‍යාපාරයක් කරන්න ඕනේ කියලා. ඒකත් එක්කම මගේ හිතේ සතුට සහ මගේ දෙමාපියන්ගේ සතුට වෙනුවෙන් මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා කියලා තමා හිතන් ඉන්නේ.මගේ තාත්තට හැමෝම ආදරෙයි. පුංචිම කාලේ පාසලේ දෙමාපිය රැස්වීම්වලට ආවට පස්සේ ඇතැම් අය මට කිව්වේ මේ අර නළුවාගේ දුව කියලා. නමුත් මම කවදාවත් මේ මගේ තාත්තා කියලා ඉස්සර කරන් ගිහින් අවස්ථා ලබා ගෙන නැහැ. තාත්තා වුණත් එහෙමයි. මේ මගේ දුව මෙයාටත් චරිතයක් දෙන්න කියන තැන නැහැ.”ඒ වගේම ඉතින් ආදරය විවාහය ගැනත් ඇය මේ විදිහට පැවසුවා.“ආදරයට හරි කෙනෙක් ලැබුණොත් හොඳයි. මොකද අද ඉන්නේ විවිධාකාර මිනිස්සු.

අද මම ඉන්න තැන නිසා හෝ ආනන්ද අතුකෝරලගේ දුව නිසා එන ආදරයකට වඩා අපිට දැනෙන කෙනෙක් ලැබෙන්න ඕනේ. එතනදී සල්ලිවත් රූපෙවත් නෙවෙයි ඕනේ අපිට දැනෙන කෙනෙක්.තවම මට 25යි. අවුරුදු 30දී වගේ බඳිනවා.මගේ අම්මා තාත්තා දෙන්නම ප්‍රශ්න කරදරවලට මුහුණ දීලා ගොඩක් ආදරේ කරලා එකතු වුණ දෙන්නෙක්. ඒ නිසා කවදාවත් මට බලපෑම් කරන්නේ නැහැ. ඒ දෙන්නගේ ආදරේ මම පොඩි කාලේ ඉඳන්ම දැක්ක නිසා මමත් හොයන්නේ තාත්තා වගේ ආදරය කරන කෙනෙක්.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *