මම දැන් ඉගෙන ගන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්. ඒනිසා කලාව රැකියාව කරගන්නේ නැහැ – යොහානි හෙට්ටිආරච්චි

යොහානි හෙට්ටිආරච්චි කියන්නේ දක්ෂ සුරූපී යොවුන් රංගන ශිල්පිනියක්. වයස අවුරුදු 4ක් තරම් පුංචි වයසකදී කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය දැන් තරුණ පෙම්වතියකගේ චරිතයටත් අවතීර්ණ වෙලා. ඉතින් ඒ ගැන ඇය පුවත් පතකට මෙලෙසින් පැවසුවා.

“බොහෝ දුරට මට දැන් යොවුන් චරිත ලැබෙනවා. ‘ඉරට ළඟ මිනිස්සු’ හා ‘අඳුන්ගිර’ නාට්‍යවල පෙම්වතියගේ චරිතයෙන් දායක වුණා. මම අඳින පලඳින රටාවට අනුගතව කරන්න හැකි ඕනෑම විදිහේ චරිතයක් භාර අරගෙන කරන්න මට පුළුවන්. මම හිතනවා රංගනය කියන්නේ ආයතනයකින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. මම රංගනය ඉගෙන ගත්තේ ප්‍රවීණ ශිල්පීන්ගෙන්. විශේෂයෙන්ම ශලනි අක්කා සමග රඟපාපු පහුගිය වසර දෙකක කාලයේදී මම රංගනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.අයහපත් ප්‍රතිචාර වගේම කටකතා හැදුණ අවස්ථාත් තියෙනවා. මුලදි නම් ඒවා අහද්දි දකිද්දි මම ගොඩක් දුක් වුණා. දැන් නම් ඒ දේවල්වලට හුරුවෙලා. ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලි නාට්‍යයේ මගේ චරිතය කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ වෙනස්වීම් එක්ක ලැබෙන ප්‍රතිචාරත් වෙනස්. කාලෙකට මම නපුරුයි, හිතුවක්කාරයි කියලා බණිනවා තවත් කාලෙකට හරිම අහිංසකයි, ආදරණීයයි කියලා ප්‍රශංසා කරනවා. ඒක දැන් මට සාමාන්‍ය දෙයක් වෙලා.”

ඉතින් මේ දවස් වල තොරතුරුත් ඇය මේ විදිහට පැවසුවා. “මගේ වයස දැන් අවුරුදු දහඅටයි. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව මම දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරනවා. අධ්‍යාපනයට ගොඩක් පාඩු වුණා. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්න නියමිත අවුරුද්දේ මට ඉස්කෝලෙ යන්න නොලබුණ තරම්. මම පෞද්ගලිකව ඉගෙනගෙන තමයි සාමාන්‍ය පෙළ විභාගය ලිව්වේ. හැබැයි මම සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වුණා.මම මුලින්ම ගියේ රුක්මලේ කනිෂ්ඨ විද්‍යාලයට. පහේ පන්තියෙන් පසුව මම ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයට ඇතුළු වුණා. මේ පාසල් දෙකේ මිතුරු මිතුරියෝ තමයි අදටත් මගෙ හොඳම යාළුවො. මේ පාසල් දෙකේම ගුරුවරුන්ගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා.”

ඉතින් අනාගත බලාපොරොත්තු ගැනත් මේ විදිහට පැවසුවා.“මම දැන් ඉගෙන ගන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්. ඒ අංශයෙන්ම නොවුණත් මම වෙනත් අංශයකින් රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරනවා. දැන් අපි රංගනයේ යෙදුණට අපිට හැමදාම එක වගේ නිර්මාණවලට දායක වෙන්න ලැබෙයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා කලාව රැකියාව කරගන්නේ නැහැ.විශ්වවිද්‍යාලයෙදි, මගේ අනිත් වැඩ කටයුතුවලදි මම අනිත් ගැහැනු ළමයි වගේ තමයි. බස් එකේ යනවා එනවා. යහළුවොත් මාව නිළියක් විදිහට හඳුන්වනවාට මම කැමති නැහැ. අවශ්‍ය තැනට, අවශ්‍ය විදිහට විලාසිතා කරන්නත්, සරල විදිහට අඳින්න පලඳින්නත් මම කැමතියි.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *