මාධව විජේසිංහ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ නිවේදකයෙක් ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. දෙරණ Little Star සහ Champion Star වැඩසටහන් නිවේදනය කරන්නේ ඔහුයි. ඉතින් මේ වන විට විවාහ වෙලා සිටින ඔහු තම ආදරණිය බිරිඳ සමඟ ගෙවන ජීවිතය ගැන මේ විදිහට පැවසුවා.“අලුත් ජීවිතේ ඉතාම හොඳයි. ඉතාම සතුටින් ගෙවිලා යනවා.එයාගේ නම නඳුනි රණසිංහ. නඳුනි මට මුණගැහෙන්නේ විවාහ මංගල උත්සවයකදී. මම එහි දෙවැනි මනමාලයා, ඇය තමයි දෙවැනි මනාලිය. එතැනදි නෙමෙයි ආදර සම්බන්ධයක් ඇති වෙන්නේ. ඉන් වසරකට විතර පසුව තමයි අපි දෙන්නා දැන හඳුනගෙන ආදරය කරන්න පටන්ගන්නේ. වසර පහක් අපි ආදරය කරලා විවාහය දක්වා ආවා. නඳුනි වෛද්‍ය උපාධිය හදාරලා ලංකාවෙ වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්.නඳුනිගේ තාත්තා ලයනල් රණසිංහ. ඩග්ලස් රණසිංහගේ සහ තිලකා රණසිංහගේ සහෝදරයා. ඒ පවුලම කලා ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඒත් නඳුනි කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. ඒත් ඇයට කලා හැකියා තියෙනවා. ඉතාම හොඳ නිහතමානී මිනිස්සු ඉන්න පවුලක් මට ලැබුණා. ඩග්ලස් රණසිංහ මහත්මයා මම බොහොම ආදරයෙන් මතක් කරනවා.
එයා නදුනිගේ ලොකු තාත්තා. පවතින වසංගත තත්ත්වය එක්ක විවාහ උත්සවයට එන්න එතුමාට හැකියාවක් තිබුණේ නැහැ. එතුමාගේ ආදරණීය බිරිඳත් පුතත් සහභාගි වුණා. ඒත් ඔහුගෙන් උණුසුම් සුබපැතුම් අපට ලැබුණා. ඒ වගේම තිලකා නැන්දාව මතක් කරන්න ඕනෙ. තිලකා රණසිංහ මහත්මිය. ඒ වගේම සාරංග, දිනක්ෂි මගේ හොඳ යාළුවෝ. ඒ යාළුකම එක්ක දැන් නෑදෑකමත් තියෙනවා. විවාහ වෙන්න සුදුසුම කාලය එළඹෙන තෙක් අපි හිටියා. ඒ කාලෙදි අපි දෙන්නගෙම ඉගෙනීමේ වැඩ කටයුතු වගේම වෘත්තිය ජීවිතේ වැඩ කටයුතුවලට වෙහෙසුණා. අපිට හිතුණා මේක තමයි විවාහ වෙන්න සුදුසුම කාලය කියලා.”
ඒ වගේම ඔහුගේ චාම් විවාහ උත්සවය ගැනත් මේ විදිහට පැවසුවා. “මමත් නදුනිත් බලාපොරොත්තු වුණේ සද්ද බද්ද බොහොම අඩුවෙන් ඉතාම චාම්ව විවාහ වෙන්න. මගේ යහළු යෙහෙළියෝ ඥාති හිතමිත්‍රාදීන් මම දන්න කියන කලා ක්ෂේත්‍රයෙන් ඔක්කොම අයට විවාහය කියනවා නම් මට වෙඩින් එක ගන්න BMICH එකත් මදි වෙනවා. රටේ මේ වෙනකොට පවතින තත්ත්වය නිසාත් මමයි නදුනියි දෙන්නම වැඩිපුර සද්ද බද්ද දාලා විවාහ වෙන්න අකමැති නිසාත් බොහොම පුංචියට තමයි විවාහ මංගල්‍යය ගත්තේ. අපි දෙන්නා සැලසුම් කළේ පෝරුවෙ චාරිත්‍ර කරලා විවාහ ගිවිස ගැනීමෙන් ඒ කටයුතු නිමා කරන්න. මවුපියන්ගෙ බලවත් ඉල්ලීම මත තමයි මේ තරමින් හරි උත්සවයක් ගත්තේ. මම විවාහයට ආරාධනා කරන්න හිටපු අයගෙන් සියයට දහයකටවත් මට ආරාධනා කරගන්න බැරි වුණා. ඒ නිසා හැමෝටම කියන්න තියෙන්නේ ආරාධනා නොකළාට අමනාප වෙන්න එපා කියලා.”
ඉතින් ඔහුගේ වැඩ කටයුතු වලට බිරිඳගෙන් ලැබෙන සහයෝගය ගැනත් මේ විදිහට පැවසුවා. “පසුගිය අවුරුදු පහ ඇතුළත මගේ ජීවිතයේ සාර්ථකත්වයට මගේ අම්මා වගේම නඳුනිත් හේතුවක් වුණා. ඒ කාලය ඇතුළත නඳුනිට කිසිම විදිහකින් අවශ්‍ය වුණේ නැහැ ලෝකයාට ඇය මගේ පෙම්වතිය බව පෙන්නන්න. ඇයට හොඳ දැක්මක් තියෙනවා. ඒ දැක්මත් එක්ක එයා මට ගොඩක් අවස්ථාවන්වලදී හරි පාර පෙන්නුවා. කලා ක්ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පීන් ශිල්පිනියන් එයත් එක්ක බොහොම යාළුයි. ඒ නිසා නඳුනි මට එහෙම තහංචි දාන්නේ නැහැ.”