අපි පුංචි ගෙදරක හිටියේ.ඉතින් ඒගේ ඇතුළෙ ඉඳගෙන ලොකු හීන දකින්න මම බය වුණා – ශානිකා මධුමාලි

ශානිකා මධුමාලි කියන්නේ ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් දක්ෂ ගයන ශිල්පිනියක්. කලක් නිහඬව සිටි ඇය පසුගිය දිනයක නව ගීතයක් එලි දැක්වුවා.ඉතින් ඇය මේ දිනවල තොරතුරු පුවත්පතකට මෙලෙසින් පවසා තිබුනා.“ඇත්තම කිව්වොත් එහෙම කොහෙවත් ගියේ නැහැ. වැඩිපුර ගෙදර හිටියෙ. ආරාධනා ලැබුණු ප්‍රසංගවලට සහභාගි වුණා. ඉතින් ඒවාට සහභාගි වෙමින් ගෙදරට වෙලා හිටියා. යසස් මැදගෙදරගේ සින්දු දැකලා ඒවාට ආසා හිතිලා තමයි මට අලුත් ගීතයක් කරන්න හිතුණෙ. හැබැයි ගීතයක් එළිදක්වනවා කියන්නෙ ලේසි කටයුත්තක් නෙමෙයි. ඒකටත් යම්කිසි ආර්ථිකයක් තියෙන්න ඕනෙ. ඒ නිසා හෙමිහිට හෙමිහිට ඒකටත් මම සූදානම් වුණා. ගීතය ලිව්වෙ ෂෙහාන් ගලහිටියාව. ඒක සංගීතවත් කළේ යසස් මැදගෙදර. ඒ අනුව තමයි මගේ අලුත් ගීතය වන ‘සෞම්‍යවන්ත රෑ’ ගීතය නිර්මාණය වුණේ. මේ වෙද්දි ඒ ගීතය එළිදක්වලා තියෙනවා. ‘ආදරණීය ප්‍රාර්ථනා’ චිත්‍රපටය සංගීතවත් කළෙත් යසස්. ඒ වෙද්දි අපි ‘සෞම්‍යවන්ත රෑ’ සංගීතවත් කරලා හමාරයි. වාසල බදුගේ තමයි ‘ආදරණීය ප්‍රාර්ථනා’ චිත්‍රපටය කරන්නෙ. චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන අතරතුරේදි මගේ ‘සෞම්‍යවන්ත රෑ’ ගීතය අහපු වාසල ඒක එයාගේ චිත්‍රපටයට එකතු කර ගත්තා. ඒ නිසා ඉදිරියේදි මේ ගීතය චිත්‍රපට ගීතයක් විදිහටත් අහන්න ලැබේවි.

මේ වෙද්දි මම ගීත කිහිපයක්ම කරලා තිබුණා. හැබැයි මම සමාජ මාධ්‍යයට වැඩිය සම්බන්ධවෙලා කටයුතු කළේ නැහැ. අද වෙද්දි බොහෝ ගීත අහන්න, දකින්න ලැබෙන්නෙ සමාජ මාධ්‍යයෙන්. YouTube ඔස්සේ පමණක් ගීත රසවිඳින පිරිසක් ඉන්නවා. මුලින්ම මම ‘ස්වර්ණ ප්‍රේමි’ නමින් ගීතයක් කළා. ඒක සංගීතවත් කළේ කේෂාන් පෙරේරා. පද රචනාව ෂෙහාන් ගලහිටියාව. ඊට පස්සෙ තමයි 2019 වසරේ ‘සෞම්‍යවන්ත රෑ’ ගීතයේ වැඩ පටන් ගත්තෙ. 2010 අවුරැද්දෙ මම ‘සුපර් ස්ටාර්’ තරගය ජයග්‍රහණය කළා. ඒ ඔස්සේ මගේම ගීත ඇතුළත් සී.ඩී. තැටියක් කළා. අදටත් මම ප්‍රසංග වේදිකාවෙ ගායනා කරන්නෙ ඒ ගීතයි. ඒ නිසා මගේම ගීත කිහිපයක් කරන්න ඕනෙ කියන අවශ්‍යතාවක් මට තිබුණෙ නැහැ. කොහොමත් මම හෙමිහිට ගමනක් යන කෙනෙක්. ගීත පොදි ගහගෙන මේ ගමන යන්න ඕන නැහැ. ගීතයක් කරද්දි විශාල මුදලක් වැය වෙනවා. ඒ මුදල හොයාගන්නත් ඕනෙ. ඉතින් සී.ඩී. එකේ කරලා තිබුණු ගීත ගායනා කරලා ප්‍රසංගවලට ගිහින් ඒ ප්‍රසංගවලින් ලැබෙන ආදායමින් යම් මුදලක් ඉතිරි කරගෙන තමයි මටම කියලා ගීත කරන්න පටන් ගත්තෙ. ඉතින් ඒකට යම් කාලයක් ගත වුණා.”

ඉතින් ගායිකාවක් ලෙසින් මේ ආපු ගමන ගැන ඇය මේ විදිහට පැවසුවා. “මට එහෙම පොඩි කාලෙදි හීන තිබුණෙ නැහැ. ඇත්තටම මට පොඩි කාලෙදි එහෙම හීන දකින වටපිටාවක් තිබුණෙ නැහැ. එහෙම හීන දැක්කත් ඒක හරියට අහසයි පොළොවයි වගේ. හැබෑ වෙන්නෙ නැහැ කියලයි මම හිතාගෙන හිටියෙ. මගේ අම්මා බොහෝ කාලයක් විදෙස් ගතවෙලයි හිටියෙ. මම පවුලේ එකම දරුවා. මම හැදුණෙ වැඩුණෙ මගේ ආච්චියි පුංචි අම්මා ළඟයි. ආච්චි මියගියාට පස්සෙ මාව බලාගත්තෙ මගේ පුංචි අම්මා. මගේ ගම පොල්ගහවෙල. අදටත් මම පදිංචිවෙලා ඉන්නෙ පොල්ගහවෙල. මට ලොකු ලොකු හීන තිබුණෙ නැහැ. ගෙදර ආර්ථිකය සතුටුදායක වුණෙත් නැහැ. අපි පුංචි ගෙදරක හිටියේ. ඉතින් ඒ ගේ ඇතුළෙ ඉඳගෙන ලොකු හීන දකින්න මම බය වුණා. පවුල් පරිසරයත් එක්ක ඉගෙනගෙන මොකක් හරි රැකියාවක් කරන්න, එහෙම නැත්නම් අම්මා ළඟට යන්න, ඒ රටට ගිහින් මොකක් හරි රැකියාවක් කරන බලාපොරොත්තුවක් තිබුණට ගායිකාවක් වෙන හීනයක් තිබුණෙ නැහැ. මට මගේ ගැන ලොකු විශ්වාසයක් තිබුණෙත් නැහැ. මටම හිතිලා මම ‘සුපර් ස්ටාර්’ තරගයට අයැදුම්පතක් දැම්මා. මම ඉගෙන ගත්තෙ පොල්ගහවෙල පරාක්‍රමබාහු ජාතික විදුහලේ. පාසලේදි ගීත ගායනා කළා. තරගවලට සහභාගි වුණා. ඒවායින් ජයග්‍රහණ ලැබුවා. ඒ නිසාම නිකමට ආසාවට දාපු අයැදුම්පත මාව මේ තරම් දුරක් අරන් ආවා.”

ඒ වගේම මේ වනවිට විවාහ වෙලා ඉන්න ඇය තම ආදරණිය සැමියා ගැනත් මේ විදිහට පැවසුවා. “එයාගේ නම දසුන්. එයා විදෙස් ගතවෙලයි ඉන්නෙ. එයාව මට මුණගැහෙන්නෙ යාළුවෙක් මාර්ගයෙන්. මුලින්ම අපි දෙන්නා ගුවන් තොටුපළේදි මුණගැහුණෙ. අපි කතාබහ කළා. මුහුණුපොතෙන් chat කරලා දුරකථන අංක හුවමාරු කර ගත්තා. එහෙම අපි කාලයක් දුරකථනය ඔස්සේ කතා කළා. ඒ වෙද්දි අපි දැකලාවත් තිබුණෙ නැහැ. දසුන් නොවැම්බර් මාසෙදි ලංකාවට ආවා. එයාගේ දෙමව්පියන්ට මම ගැන කියලා තිබුණා. මමත් මගේ අම්මට එයා ගැන කිව්වා. ඉතින් දෙමව්පියන්ගේ ආශිර්වාදය ඇතිව අපි දෙසැම්බර් මාසෙදි විවාහ ගිවිස ගැනීම කළා.දසුන් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. හැබැයි එයා කලාවට හරි කැමතියි. ඒ නිසා මගේ සංගීත කටයුතුවලට එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ප්‍රසංගවලට ගිහින් ඇවිත් “මේ හොඳටම ඇති” කියලා මම කියද්දි දසුන් තමයි “ඔයා සින්දුවක් කරන්න” කියලා මාව ගොඩක් දිරිමත් කරන්නෙ. ඇත්තටම එයා ගොඩක් හොඳ කෙනෙක්. මාව හොඳට තේරැම් ගත්තු කෙනෙක්. සින්දු ගැන ලොකු වැටහීමක් නැතත් එයා මගේ ගමන නවත්වන්නෙ නැහැ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *