මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකීය නාමය ලෝකයට ගෙන ගිය තරුණියක් තමයි යොහානි ද සිල්වා කියන්නේ. “මැණිකේ මගේ හිතේ ” ගීතය හරහා ලෝකයම වසඟයට ගත් ඇයට විශේෂයෙන්ම ඉන්දියාව තුල විශාල ජනප්‍රියත්වයක් ලබාගැනීමට හැකියාව ලැබුනා. ඉතින් පසුගියදා සුපිරි බොලිවුඩ් චිත්‍රපටයක් වන Thank god චිත්‍රපටයටත් මේ ගීතය යොදාගෙන තිබුනා. ඉතින් ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා. “නොහිතපු විදිහට “මැණිකේ මගේ හිතේ” ගීතයට දැන් මුළු ලෝකෙම නටනවා. ඒ ගැන හරිම නිහතමානී ආඩම්බරයක් තියෙන්නේ. අපි ගොඩක් ආසාවෙන් කරපු වැඩක්. ඇත්තටම නිරහංකාරව මේ ගැන සතුටු වෙනවා. සංගීත නිර්මාතෘ චමත්ටත් , මුල් ගායනය සහ මගෙත් එක්ක රැප් එක ගයනා කළ සතීෂාන්ටත්, පද රචනා කළ දුලාන්ටත්, සින්දුව නැවත නිර්මාණය කිරීමට සහ බෙදා හරින්න අවසරය දුන් හසිත්ටත්, මගේ පිටුපසින් සෑම මොහොතේම ඉන්න දිලංජන් ඇතුළු “පෙටා ඉෆෙක්ට්” (Pettah Effect) කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමි වෙන්න ඕනේ.”
අද මුළු ලෝකයටම තරුවක් වෙලා ඉන්න ඇය ඒ ගැනත් මේ විදිහට පවසා තිබුනා. “ඇත්තටම නිරහංකාරව මේ ගැන සතුටු වෙනවා. අපි කුඩා කණ්ඩායමක්. අපි මේ වෙලාවේ ගැටෙන්නේ යෝධ සමාගම් සහ කණ්ඩායම් සමඟ. මේ සංචාරය අතරමැද අපට නිදාගන්න ලැබුණෙත් කලාතුරකින්. මීට කලින් මේ දේවල් ලංකාවේ කවුරුත් කරලා නැති නිසා උදවු කරන්නත් කාටවත් දැනුමක් නෑ. පෙටා ඉෆෙක්ට් කණ්ඩායම ඇත්තටම විශාල කර්තව්‍යයක් කරනවා මගේ පිටුපස ඉඳගෙන. හැමදේම හෙමින් හෙමින් ආසාවෙන් කරන්න තමයි මගේ බලාපොරොත්තුව. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ඉන්දියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ. ඔවුන් අපිව බලන්න ප්‍රසංගය ආරම්භ වෙන්නත් කලින් ඇවිත් සහයෝගය දුන්නා. ගුවන් තොටුපළේදිත් අපිට සෑහෙන්න උදවු උපකාර කළා. හුඟදෙනෙක් ලංකාවේ මිනිස්සු ගැන දොස් කිව්වට, මගේ සහ මගේ කණ්ඩායමේ අත්දැකීම් ගොඩක් වෙනස්. ලාංකිකයෝ හමුවුණ හැම වෙලාවේම අපිට උදවු කළා. මාත් එක්ක වැඩ කරන ලංකාවේ සන්නාම පවා ඔවුන්ගේ ඇඳුණුම්කම් කියලා අපිව බලා ගත්තා.
මේ ගමනට සුබ පතපු, උදවු උපකාර කරපු හැමෝටම ස්තුතියි.මගේ නමත් එක්ක ලංකාවෙ නම හැමෝම මතක් කරනවා කිව්වාම ඒක ලොකු වගකීමක් මට. මගේ ගෞරවය සහ මගේ රටේ මිනිස්සුන්ගේ ගෞරවය ආරක්ෂා කරගෙන ඉදිරි වැඩ කටයුතු කරන එක තමයි මගේ බලාපොරොත්තුව. විදේශීය ප්‍රේක්ෂකයෝ හැමෝම කියන්නේ එයාලා මීට කලින් ලංකාව ගැන දැනගෙන හිටියේ ලසිත් මාලිංගගෙන්, සනත් ජයසූරියගෙන් සහ ක්‍රිකට්වලින් කියලා. ඒ නිසාම “මැණිකේ මගේ හිතේ” ගීතයේ “සුකුමාලි” කියලා තියෙන කෑල්ල ලසිත් මාලිංගට කියනවා “මාලී සුකුමාලී” කියලා. ගොඩක් අය මේ ගීතය සිංහල භාෂාවෙන් තියෙන්නෙ කියලා දැනගෙන හිටියේ නෑ. හැමෝම හිතුවේ ඒක ඉන්දියාවේ වෙනත් භාෂාවක් කියලා. ඒ නිසාම අපි යන යන තැන හැමෝටම කියනවා මේ ගීතය සිංහල භාෂාවෙන් තියෙන්නේ, ඒක “ශ්‍රී ලංකන්” කියලා.”