මාව දැක්කම සමහරු අන්න අශන්‍යා නේද? කියලා ළඟට ඇවිත් කතා කරනවා

ආශාන්‍යා ප්‍රේමදාස කියන්නේ සිරස ද වොයිස් තරඟාවලිය හරහා අතිශයින්ම ජනප්‍රිය වූ පුංචි තරුවක්. ඉතින් ඇය ඇයගේ තොරතුරු පුවත්පතකට මෙලෙසින් පවසා තිබුණා.“මගේ නම අශන්‍යා ටෙෂාරා මරීසා ප්‍රේමදාස අබේසේකර. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අයියයි මමයි. මම අයියට වඩා අවුරුදු තුනක් බාලයි.මම ඉගෙන ගත්තෙ ශාන්ත බ්‍රජෙට් කන්‍යාරාමයෙයි. පාසලේදි මම ඉගෙන ගත්තෙ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. හැබැයි සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගනිද්දි මගේ ආසම විෂය වුණේ සිංහල. මම යාළුවෝ එක්ක හරිම දඟකාර චරිතයක්. පන්තියේදි වැඩියෙන්ම කතා කරන ළමයා වුණේ මමයි. ගුරුවරුන් පවා අශන්‍යා.. කතාව නවත්තලා වැඩ කරන්න කියලා බැණලත් තියෙනවා. කෑම කන එක පවා පරක්කු වුණේ මේ කතාව නිසාමයි. පුංචි කාලේ ඉඳන් මම හරි දඟ ළමයෙක්. මම අත්වැඩ කරන්න හරිම ආසා කළා. ඔය අතරේ අවුරුදු හය හත වෙද්දි මට ව්‍යාපාරයක් පටන් ගන්නත් ආසාවක් තිබුණා.අවුරුදු පහේ ඉඳන් මම සංගීතයට යොමු වුණා. ළදරු පාසලේදිත් මම සින්දු කියලා තියෙනවලු. ඒ නිසා චූටි කාලේ ඉඳන්ම මම සංගීතයට ආසා කළා.”

ඉතින් ද වොයිස් වැඩසටහන හරහා ඇයට ලැබුණු ජනප්‍රියත්වය ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “ගොඩක් සතුටුයි. පුංචි කාලේ ඉඳන් ගායිකාවක් වෙන්න හීනයක් තිබුණා. මේ වැඩසටහනට සහභාගි වුණාට පස්සේ මට ඒ අවස්ථාව ලැබුණා. පොඩි කාලේ ඉඳන් මම වැඩියෙන් කිව්වේ ඉංග්‍රීසි සින්දු. හැබැයි තාත්තා එක්ක වාහනයෙන් විනෝද චාරිකා එහෙම යද්දි එයා ඇහුවෙම සිංහල සින්දු. ඒ නිසා පුංචි කාලේ ඉඳන් සිංහල සින්දුත් මම රස වින්දා. මේ තරගයට යද්දිම තාත්තා ඉංග්‍රීසි සින්දු කිව්වොත් නම් ඔයාට පොඩි දුරක්වත් යන්න බැහැ.

ඒ නිසා සිංහල සින්දු කියන්න පුරුදු වෙන්න කියලා කිව්වා. හැබැයි දැන් නම් මම ආසම සිංහල සින්දුවලටයි. දැන් අපි ඔය පාරේ යද්දිත් මාව දැක්කම සමහරු අන්න අශන්‍යා නේද.. කියලා ළඟට ඇවිත් කතා කරනවා. සමහරු මාත් එක්ක ඡායාරෑප ගන්නවා. ඇත්තටම ඒ වෙලාවට පුදුම සතුටක් දැනෙනවා. මේ වැඩසටහන ලංකාවෙ පටන් ගන්න කලින් ජාත්‍යන්තර තරග පටන් ගත්ත කාලේ ඉඳන්ම මමයි අම්මයි ඒ වැඩසටහන බැලුවා. ඔය අතරේ මේ තරගය ලංකාවෙ පටන් ගත්තට පස්සේ අනේ.. එකම එක පාරක් මට මේ වේදිකාවේ සින්දුවක් කියන්න ඕනෙ කියලා මම අම්මට කිව්වා. ඒ නිසා අම්මා මගේ අයදුම්පතක් දැම්මා. එදා ඉඳන් මම වැඩිපුරම සිංහල සින්දු ඇහුවා. මම සිංහල සින්දු ගායනා කළා. ඇත්තටම ඒක මට අභියෝගයක්. හැබැයි අලුත් තාලවලට මේ ගීත එකිනෙකට වෙනස් වෙද්දි ඒක මටත් හරි ආසා දෙයක් වුණා. මම අශාන්ති ද අල්විස් ගුරුතුමිය යටතේ අවුරුදු එකොළහක ඉඳන් සංගීත ඉගෙන ගන්නවා.”

ඉතින් මේ පුංචි තරුව අශාන්‍යා මේ වන විට පුංචි ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඒ ගැනත් ඇය මේ විදිහට පවසා තිබුනා. “පුංචි කාලේ ඉඳන් මම අත්වැඩ කරන්න හරි ආසයි. චූටි කාලෙදිත් ගෙදර ඉවත දාන දෙයක් වුණත් අරගෙන ඒකෙන් මොකක් හරි අත්වැඩක් කළා. මම පොඩි කාලේ මගේ තාත්තා විවිධ අත්හදා බැලීම් කරනවා මම දැක්කා. ඒ නිසා මමත් ඒ අත්හදා බැලීම්වලට, අත්වැඩවලට ආසා කළා. පුංචි කාලේ ඉඳන් ව්‍යාපාර කටයුතු කරන්න මම ආසයි. ඔය අතරේ කොවිඩ් මුල් කාලෙදි ඇඳිරි නීතියත් එක්ක ගෙදරටම වෙලා ඉන්න කම්මැලි හිතුණා. චිත්‍රපට බලලම එපා වුණා. ඔය අතරේ පිටරට හිටපු ගෑනු ළමයෙක් පබළුවලින් අත්වැඩ කරලා ලොකු ව්‍යාපාරිකාවක් වුණු හැටි Tik Tok එකකින් මම දැක්කා. ඒ නිසා මටත් එහෙම කරන්න ආසා වුණා. අම්මටයි තාත්තටයි ඒ ගැන කිව්වම “ඔයා කැමති දෙයක් කරන්න. අපි උදව් කරන්නම්” කියලා කිව්වා.

මුලදි මේකට ඕන කරන කළමනා ටික Online මගින් ගෙන්වන්න අවශ්‍ය මුදල් තාත්තා මට දුන්නා. කොහොමටත් තාත්තා අනවශ්‍ය දේවල්වලට අපිට මුදල් දෙන්නෙ නැහැ. මේ කළමනා ටික ගෙන්වන්න තාත්තා මට සල්ලි දුන්නා. මම ඒ ගෑනු ළමයාගේ Tik Tok වීඩියෝව බලලා ඒවා කරන හැටි ඉගෙන ගත්තා.මුලින්ම මගේ අම්මයි පුංචිලයි මිලදී ගත්තා. ඊට පස්සේ පිටරට ඇණවුම් ගොඩක් ආවා. ලංකාවේ අයටත් මම විකුණනවා. දැන් නම් කරන්න බැරි තරමට ගොඩක් ඇණවුම් ලැබෙනවා. මම තනියමයි මේ හැමදෙයක්ම කරන්නෙ. පසුගිය කාලෙදි පුහුණුවීම් කරලා ගෙදරට කීයට ආවත් මම පාන්දර දෙක තුන වෙනකම් ඒ වැඩ කළා. බාරගත්තු දෙයක් ඒ නියමිත දිනට වඩා පහුවෙනවට මම කැමති නැහැ. හැබැයි මේ දවස්වල තැපැල් ප්‍රශ්නය නිසා ඇණවුම් කිහිපයක්ම ටිකක් පරක්කුවෙලා තියෙනවා. කොහොම හරි මම බාරගත්තු වැඩේ හරියට කරන්න උත්සාහ කරනවා.මම එහෙම අනවශ්‍ය දේවල්වලට වියදම් කරන්නෙ නැහැ. දැන් අවශ්‍ය කළමනා මිලදී ගන්නෙ ඒ ලැබෙන මුදල්වලින්. මහන්සියෙන් හම්බකරපු මුදල් අනවශ්‍ය දේවල්වලට වියදම් කරන්න මම කැමති නැහැ. ඒ නිසා දැනට ඒ සල්ලි මම එකතු කරනවා. කවදා හරි අම්මා තාත්තට හරි මට හරි අවශ්‍ය වුණු වෙලාවක මම ඒ සල්ලි යොදවනවා.”

ඉතින් මේ තරම් පුංචි වයසකදී වුනත් ආපු මේ ගමනේ මුහුණ දෙන්න සිදුවුණු හිත රිදුනු අවස්ථා ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “ගොඩක් තිබුණා. මේ ආපු ගමනෙදි මට බොහෝ හොඳ දේවල් ලැබුණා. කෝච් රයිනිගෙන් බොහෝ උපදෙස්, ආශිර්වාද ලැබුණා. හැබැයි මට මේ ගමන එද්දි සමහර වෙලාවට හිත රිදුණු තැන් දරාගන්න බැරි වුණා. අඬපු දවස් තිබුණා. කට්ටිය බණිද්දි මුලදි මට ඒවා විඳ දරාගන්න බැරි වුණා. මගේ අම්මයි තාත්තායි මට ලොකු හයියක් වුණා. ඒ කඩා වැටීම් මම හොඳ විදිහට බාරගත්තා. මුලදි හිත රිදුණා. සමාජ මාධ්‍යයේ ඇතැම් ප්‍රතිචාර කියවද්දි ඇඬුවා. දුක හිතුණා. හැබැයි දැන් ඒවාට දුක් වෙන්නෙ නැහැ. දැන් මේ දේවල් අවුරුදු දහඅටක් වුණු කෙල්ලට හුරුයි.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *