හිමාලි සිරිවර්ධන කියන්නේ කලක් ප්‍රසංග වේදිකාවකට වගේම කලා ක්ෂේත්‍රයට නැතිවම බැරි වුනු දක්ෂ නර්තන ශිල්පිනියක්. මේ වන විට විවාහ වෙලා පුංචි පුතෙකුගේ මවක් වෙලා ඉන්න ඇය කලාවෙන් තරමක් ඈත් වෙලයි ඉන්නේ. ඉතින් හිමාලි ඇයගේ ආදරණිය පුංචි පුතු ගැන මේ විදිහට පැවසුවා. “අපේ චූටි පුතාගේ නම සචෙල් පෙරේරා. දැන් පුතාට වයස අවුරුදු හතරයි. පුතා හරිම දඟයි. ඉඳලා හිටලා ටිකක් තරහත් යනවා. එයා ඉල්ලන දේවල් දුන්නේ නැති වුණාම පුතාට ටිකක් තරහා යනවා. එයාට අපේ ‘ෆෝන්’ එක ‘ටැබ්’ එක දුන්නේ නැති වුණාම තමයි වැඩිපුරම තරහා යන්නේ. ඒවා නැතිව පාඩුවේ ඉඳිද්දී සෙල්ලම් කරනවා. දඟලනවා. එයා හරිම ක්‍රියාශීලී දරුවෙක්. පුතා සෙල්ලම් කරන්න හරි ආසයි. එයාට සෙල්ලම් බඩු ගොඩක් තියෙනවා. හැබැයි එයා සෙල්ලම් බඩුවලින් සෙල්ලම් කරන්නේ තනියම ඉඳිද්දී තමයි. එහෙම තනියම සෙල්ලම් කරද්දී එයා ඔය දකින දකින දේවල් සෙල්ලම් විදිහටත් කරනවා. සෙල්ලම් වාහන එක පේලියට තියලා ”පෙට්‍රල් පෝලිම” කියලා සෙල්ලමක් එහෙමත් කරනවා. හැබැයි එයා මාත් එක්ක සෙල්ලම් කරද්දී නම් ඔය සෙල්ලම් බඩු ළඟට ගත්තේ නැහැ. මාත් එක්ක සෙල්ලම් කරද්දී එයා දුවද්දී මම අල්ලන්න ඕනේ. හැංගිමුත්තන් සෙල්ලම කරනවා. සෙල්ලම් කරද්දී එයාගේ පස්සෙන් දුවලම මට මහන්සියි.”
කොහොම වුනත් හිමාලිගේ සැමියා ශෙනාස් ඉතාමත් කාර්යබහුල කෙනෙක්. ඉතින් ඒ කාර්යබහුලත්වයත් එක්ක පුතත් එක්ක ගත කරන කාලය ගැනත් මේ විදිහට පැවසුවා. “පුතා තාත්තා එක්ක ඉන්නවා හරි අඩුයි. ෂෙනාස්ගේ වැඩකටයුතුත් එක්ක එයා හරි කාර්යබහුල කෙනෙක්. පුතා තාත්තා එක්ක ඉන්න හරි ආසයි. ගෙදර ඇවිත් ආපහු ෂෙනාස් එළියට යනවා නම් පුතා ආසා නැහැ. ෂෙනාස් පුතා එක්ක දුවන පනින සෙල්ලම් කරන්න යන්නේ නම් නැහැ. හැබැයි ගෙදර ඉඳිද්දී ෂෙනාස් ඇඳේ ඉදිද්දී එයාගේ ඇඟ උඩ නැගගෙන තාත්තාට තුරුළුවෙලා ඉන්න පුතා හරි ආසයි. පුතා ඉල්ලන හැමදේම ෂෙනාස් අරගෙන නම් දෙනවා.”
ඉතින් පුංචි පුතා මුලින්ම ළදරු පාසැලට ගිය දවස ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “පුතා ඉපදිලා එයාට අවුරුදු තුනක් විතර වෙනතුරුම මමත් කිසිම නිර්මාණයක් බාරගත්තේ නැහැ. එයා මගේ අස්සේමයි හිටියේ. එයා මාත් එක්කම හිටපු නිසා මාව දාලා යන එකට පුතා පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ. මුලින්ම මම හඳුනන අක්කා කෙනෙකුගේ ළදරු පාසලකට තමයි පුතාව ඇතුළත් කළේ. පුතා එතනින් හුරුවුණා. මුල්ම දවස් කිහිපය නම් පුතා ගොඩක් ඇඬුවා. ඒ ළදරු පාසලේ වීදුරුවකට පයින් ගහලා වීදුරුවකුත් බිඳලා තිබුණා… දැන් නම් පුතාට ළදරු පාසල හොඳට හුරුයි. දැන් හැමදාම මාත් එක්ක උදේ පාන්දරම පුතා ඇහැරෙනවා. සමහර නිවාඩු දවස්වලට අපිටත් කලින්ම පුතා ඇහැරෙනවා. දැන් එයා හරිම ආසාවෙන් ළදරු පාසලට යනවා.පුතා ඉපදුණාට පස්සේ මම නර්තනය නැවැත්තුවා. ඒ නිසා ගෙදරදි මගේ පුහුණුවීමක් පුතා දැකලා නැහැ. මම රූපවාහිනී වැඩසටහනකට ගිහින් කරපු නර්තනයක් තමයි පුතා දැකලා තියෙන්නේ. පුතාටත් නර්තන හැකියාවක් තියෙනවා කියලා මට දැනිලා තියෙනවා. ගෙදරදි පුතා සිංදුවලට නටනවා. පුතාගේ වෙනමම රිද්මයක් තියෙනවා. ඒ නිසා මගේ නර්තන ශෛලිය තාම පුතාට පුරුදු කරන්න ගියේ නැහැ. තාම පුතා පොඩියි.”
ඉතින් තම ආදරණිය සැමියා ශෙනාස් එක්ක වගේම චුටි පුතා එක්ක ගත කරන ජීවිතය ගැන ඇය මේ විදිහට පැවසුවා. “අපි විවාහවෙලා අවුරුදු දහතුනකට පස්සේ තමයි පුතා ඉපදුනේ. පුතා අපේ ජීවිතේ ගොඩක් වෙනස් කළා. පුතා ඉපදුනාට පස්සේ මට ලැබුණ බොහෝ නිර්මාණ මම බාරගත්තේ නැහැ. දවසින් දවස එයාගේ හුරතලය, එයාගේ වෙනස්වීම් අත් විඳින්න මට ඕන වුණා. ඒ හුරතලයට මම මාර විදිහට ආසයි. ආදරෙයි. අද අපි හරිම සතුටින් ඉන්නවා.”