අපේ හැමදේම රටේ ලෝකෙ මිනිස්සු දැනගන්න ඕනෑ නැහැ – හිමාලි සිරිවර්ධන

හිමාලි සිරිවර්ධන කියන්නේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් දක්ෂ නර්තන ශිල්පිනියක් වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. මවක් වීමෙන් පසු කලාවන් වසර කිහිපයක් ඉවත් වෙලා සිටි ඇය දැන් නැවතත් නිර්මාණ තුලින් අපේ ආලින්දයට එනවා. ඉතින් ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා. “මගේ ටෙලිනාට්‍ය තුනක් මේ වෙද්දී විකාශනය වෙනවා. ස්වර්ණවාහිනියේ දෙකඩකඩ, අයි.ටී.එන්. එකේ ගගන පියවර සහ හිරු ටී.වී. එකේ ලංවී කියන නාට්‍ය තමයි මේ දිනවල විකාශනය වෙන්නේ.

එම නාට්‍යවලට දායකත්වය දෙමින් මව කියන භූමිකාවටත් මුල්තැන දෙමින් කාලය ගත කරනවා. ඇත්තටම මම නර්තන කණ්ඩායම නවත්තලා කාලයක් වෙනවා. බබා හම්බ වුණාට පස්සේ එයාගේ වැඩ මඟඇරෙයි කියලා හිතුණ නිසාම මම නර්තන කණ්ඩායමේ වැඩ නැවැත්තුවා. ඉතින් නර්තන කටයුතු මුකුත් දැන් කෙරෙන්නේ නැහැ. මේ වෙනකොට ටෙලි නාට්‍යවල රඟපාන ගමන් පුතාගේ වැඩකටයුතු, එයා මේ වෙද්දි පෙර පාසල් යන නිසා ඒ කටයුතුත් සියල්ල මගේ අතින් තමයි සිදු කරන්නේ. කාලය කළමනාකරණය කරගනිමින් ඒ දේවල් සියල්ල කරගෙන යනවා. මම පුතා නිසාම නර්තනය අත්හැරියා. ඒ එයාගේ කටයුතු මඟඇරුණොත් කියන අදහසින්. මම ගොඩක් ක්ෂේත්‍රයේ වැඩ කළ කෙනෙක්. අපේ ඊළඟ පරම්පරාව කියන්නේ අපේ දරුවෝ. ඒ කටයුතු මඟඇරෙයි කියන එක නිසාම මම ගොඩාක් කාර්යබහුල වෙන්න කැමැති නැහැ. ඒ නිසාම බොහොම සමබරව හැම වැඩක්ම කරගෙන යනවා.”

තවමත් ප්‍රේක්ෂක හදවත් වල ලැගුම්ගෙන සිටින සඳගලතැන්න ටෙලි නාට්‍යයේ සඳාගේ චරිතය ගැනත් ඇය මේ විදිහට අදහස් දැක්වුවා. “මම රඟපෑව ටෙලි නාට්‍ය අතරින් මගේ ලැයිස්තුවෙ සඳගලතැන්නේ සඳා ඉන්නේ එකට. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් ඒ චරිතය වගේම ටෙලි නාට්‍යයේ රඟපෑ ප්‍රවීණ නළු නිළියන්. ඒ වගේම එය ජාතික රූපවාහිනියේ නිෂ්පාදනයක්. සඳගලතැන්න නාට්‍යයේ අධ්‍යක්ෂවරයා විශේෂයෙන්ම. ඔහු චරිතය ගොඩනඟාගන්න හදලා දීපු වටපිටාව. මං වර්තමානයේ රඟපෑමේ යෙදෙන නිසා මේ දෙකේ වෙනස මට හොඳටම දැනෙනවා. වර්තමානයේ ඇතැම් වෙලාවට පිටපතේ චරිතය ලියලා තිබුණට ඒ චරිතයට අවශ්‍ය වටපිටාව නැහැ. චරිතයක් කියන්නේ එක අංගයක් නෙවෙයි.

ඒකට වේශ නිරූපණය, ඇ¾දුම් නිර්මාණය වගේ ගොඩක් දේවල් ඇතුළත් වෙනවා. අනෙක් එක නළු නිළියෝ කොච්චර මේ චරිතවලට ගැළපෙනවද කියනෙක. මේ හැමදෙයක්ම උඩයි අපිට අපේ චරිතය සාර්ථකව කරගෙන යෑමට අවස්ථාව තියෙන්නේ. වර්තමානයේ රඟපානකොට සමහර වෙලාවට මට දැනෙන දෙයක් තමයි අපි බලෙන් අපේ භූමිකාව කරන්න ‘ෆයිට්’ එකක් දෙන්න ඕනේ. සමහර වෙලාවට ඇදුම් නිර්මාණයෙන්, මේක්අප් එකෙන්, නැත්නම් වෙනත් හේතූන් උඩ අපිට ලැබෙන සහාය අඩුයි.”

ඒ වගේම මේ කාලයේ අතිශයින්ම ජනප්‍රිය සමාජ මාධ්‍ය ගැනත් ඇය මේ විදිහට අදහස් දැක්වුවා. “මේ වෙද්දි මම දකිනවා ‘ඉන්ස්ටග්‍රෑම්’ එකේ අපේ නළු නිළියන් ගොඩක් දේවල් කරනවා. මමත් ඒවා ආසාවෙන් බලනවා. නමුත් පෞද්ගලිකව මම ඒවාට ඇබ්බැහි වීමට කැමැති නෑ. මොකද මම හිතනවා ඒකෙන් අපේ නිදහස ඇහිරෙනවා. සමහර දේවල් තමයි අපි කන්න ගියත් අපිට නිදහසක් නැහැ. ෆොටෝස් අරන් ප්‍රසිද්ධ කරන එක රාජකාරියක් බවට පත්වෙලා තියෙනවා සමහර අයගෙ. මම එහෙම වෙන්න කැමැති නෑ. මොකද මට හිතෙනවා එතකොට අපේ නිදහස නැති වෙයි කියලා. ඉඳලා හිටලා facebook, instagram පාවිච්චි කරනවා.

නමුත්, මම ඒකට ඇබ්බැහි වෙලා කළ යුතුම දෙයක් කියලා හිතාගෙන නැහැ. ඒත් සමහර අය මේව ඇතුළෙ ලස්සනයි. තමන්ගේ දක්ෂතාව පෙන්නන්න ඇත්තටම සමහරු ඒක ප්‍රයෝජනයට ගන්නවා. මම ඒ පැත්තට නැඹුරු වෙලා නැහැ. සමහර වෙලාවට ඒක මගේ අඩුපාඩුවක් වෙන්න පුළුවන්. ඒත්, හැමදේම රටේ ලෝකෙ මිනිස්සු දැනගන්න ඕනෑ කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අපේ පෞද්ගලිකත්වය රැකගෙන අවශ්‍ය දේ දාන්න ඕනේ කියන මතයේ තමයි මම ඉන්නේ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *