රූපයට නැතුව ඉසංකාට ආදරය කරන කෙනෙක් මුණගැහුණ දවසක ආදරය ගැන හිතනවා

මේ දිනවල සිරස නාලිකාව් විකාශනය වන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ සමන්දිනි කියන්නේ ලොකු පොඩි කාගෙත් ආදරය දිනාගත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක්. ඉතින් ඇය මේ දවස් වල තොරතුරු ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසයි. “මගේ පවුලේ ඉන්නේ අම්මායි, තාත්තායි, මල්ලියි, මමයි, අත්තම්මයි. 2017 දී හදිසි රෝගාතුර වීමකින් තාත්තා නැති වෙනවා. අත්තම්මා තමයි අම්මා විදේශගත වූ දා ඉඳලා පණ වගේ මල්ලිවයි මාවයි බලාගත්තේ. අම්මා ජීවත් වෙන්නේ ග්‍රීසියේ. අපිත් නිවාඩුවට අම්මා ළඟට යනවා. අම්මාත් නිවාඩුවට ලංකාවට ඇවිත් යනවා. ඕවා තමයි මගේ පවුලේ විස්තර.කියාදෙන්න ආදරේ තරම්’ කියන්නේ මම රංගනයෙන් දායක වෙන තුන්වෙනි නිර්මාණය. මුලින්ම මම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණේ ‘ඉන්ටර්නැෂනල් 2’ කියන නාට්‍යයට. ඊට පස්සේ ‘බන්ධනා’ ටෙලිනාට්‍යය එක්ක සම්බන්ධ වුණා.

මේ දවස්වල ගොඩක්ම කාර්යබහුල වෙලා ඉන්නේ, ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යය එක්ක. ‘සමන්දිනි’ කියන්නේ මට ලැබිලා තියෙන චරිත අතුරින් ටිකක් ලොකු චරිතයක්. කතාවේ මුල සමන්දිනි කියන චරිතය විවිධ විදිහට ප්‍රේක්ෂකයන් අතරට ආවාට කතාවේ අවසානයට ළං වෙද්දි සමන්දිනි වටා ගෙතුණු ආදර කතාවකුත් තියෙනවා. ඒ ආදර කතාව දිහා ප්‍රේක්‍ෂකයෝ කුතුහලයෙන් බලා ඉන්නවා කියලා ලැබෙන ප්‍රතිචාර එක්ක දැනෙනවා.”

ඉතින් සමන්දිනිට ලැබෙන ප්‍රතිචාර ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “මහේෂ් අයියායි, ධනුෂ්ක අයියායි මාව මුලින්ම හඳුනා ගත්තේ ‘චන්ද්‍රපාණි’ කියන නිර්මාණය හරහා. ‘චන්ද්‍රපාණි’ කියන්නේ වාසවබදුගේ මහත්මයාගේ ගීත රූප රචනයක්. යසස් මැදගෙදර මහතාගේ ගීතයක්. මුලින්ම මාව ප්‍රේක්ෂකයෝ අඳුරගන්නේ ‘චන්ද්‍රපාණි’ කියන ගීත රූප රචනය හරහා. මට ගොඩක් නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ ‘චන්ද්‍රපාණි’ගෙන් පස්සේ. ‘කියාදෙන්න ආදරේ තරම්’ අධ්‍යක්‍ෂ ධනුෂ්ක අයියා වාසවබදුගේ මහත්මා හරහා තමයි මාව මුලන්ම සම්බන්ධ කරගත්තේ. ඊට පස්සේ මට ඔහු සමන්දිනි ගැන කියලා පිටපත එව්වා. තිර පරීක්‍ෂණයකට පවා මම සහභාගි වුණා. එතැනදි තමයි සමන්දිනිගේ චරිතය මට ලැබෙන්නේ. සමන්දිනිගේ චරිතය දැන් ප්‍රධාන චරිතයක් කරලා තියෙන්නේ ප්‍රේක්‍ෂකයෝ. ඇත්තටම සමන්දිනි කියන චරිතයට මේ තරම් ප්‍රේක්‍ෂක ආදරයක් ලැබෙයි කියලා හිතුවෙම නැහැ. මේ චරිතය එක දිගට තිරයට එන්න කලින්ම සමන්දිනිට ප්‍රේක්‍ෂකයෝ ආදරය කළා. චරිතය තිරයට එන්න කලින් ගොඩක් දෙනා හෙව්වේ මීනාගේ අම්මා කෝ කියලා.

ප්‍රේක්‍ෂකයෝ සමන්දිනිට ආදරය කරන විදිහට මම හරිම ආසයි. මීනා කියන්නේම හරියට මගේ කුඩා අවධියමයි. මීනා ඒ කතාවේ අත්විඳින ගොඩක් දේවල් මම කුඩා අවධියේදී විඳලා තියෙනවා. මොකද මගේ අම්මාත් මම කුඩා කාලේ ඉඳලා හිටියේ විදේශගත වෙලා. මේ කතාවේ මීනා තුළින් මාවම දකින බොහෝ අවස්ථා තියෙනවා. මගේ අම්මා විදේශගත වෙලා ඉන්නකොට මීනා වගේම මමත් අම්මාට ලියුම් ලිව්වා. අත්තම්මා ළඟ මම හැදුණේ. ඒ නිසාම සමන්දිනි සහ මීනා කියන්නේ මගේ ජීවිතේට ගොඩක් ළඟ චරිත. අදටත් මම අම්මා කියන්නේ මගේ අත්තම්මාට.”

ඒ වගේම ඇය කලාවට අවතීර්ණ වුනු හැටි ඇය මේ විදිහට පැවසුවා. “කලාවට එන එක මගේ තුන් හිතකවත් තිබුණ දෙයක් නෙමෙයි. මම ජීවත් වුණේ සාම්ප්‍රදායික පවුල් පරිසරයක. රඟපාන්න ආසාව තිබුණත් ගෙදරින් අවසර ලැබෙන්නේ නැහැ කියලා මම දන්නවා. මොකද මගේ තාත්තා හරිම සැරයි. ඒ නිසා මම නිළියක් වෙන්න හීන මැව්වේ නැහැ. උසස් අධ්‍යාපනයෙන් පසුවත් තාත්තා කැමැති වුණේ නැහැ මම රැකියාවක් කරනවාට. ඒත් මම නිරූපණය වගේ දේවල් ඉගෙන ගත්තා.

2017 තාත්තාගේ හදිසි වියෝවත් එක්ක මගේ මුළු ජීවිතේම කඩා වැටුණා. ඊට පස්සේ මට මල්ලිගේ වගකීම දැනුණා ගොඩක්. හම්බ කරන්න ඕන කියන දේ මගේ ඔළුවෙ නිතර වැඩ කළා. ඒ විදිහට මම Import & Export Company එකක් ආරම්භ කරලා ව්‍යාපාර පැත්තට යොමු වුණා. මේ වෙනකොට ඇඳුම් නිර්මාණ කිරීමේ ව්‍යාපාරයකුත් මා සතුව තිබෙනවා. ඒ විදිහට මගේ ජීවිතේ යම් යම් තැන් වෙනස් වීගෙන එනකොට මම මගේ මුහුණුපොතට එකතු කරපු පින්තූරයක් දැකලා වාසවබදුගේ මහත්තයා ‘චන්ද්‍රපාණි’ කියන නිර්මාණයට ආරාධනා කරනවා. කලා ජීවිතේ පැත්තෙන් ගත්තොත් ජීවිතේ වෙනස් කළේ ‘චන්ද්‍රපාණි’ කියන ගීත රූප රචනය. හැබැයි මට වාසනාව ගෙනාවේ, ප්‍රේක්‍ෂක ආදරය ලැබුණේ, මාව ප්‍රේක්‍ෂකයෝ අඳුරගත්තේ ‘කියා දෙන්න ආදරේ තරම්’ ‘සමන්දිනි’ හරහා. හැමදේම මට ලැබුණේ මගේ රූපය නිසා. රූපය නිසා පාසල් කාලේ ඉඳලා මට එක එක නිර්මාණවලට ආරාධනා ඇවිල්ලා තියෙනවා. ‘චන්ද්‍රපාණි’ කියන රූප රචනාව බලපු ගොඩක් දෙනා හිතලා තිබුණේ, මම ලංකාවේ කෙනෙක් නෙවෙයි ඉන්දියානු මලයාලම් නිළියක් කියලා.”

ඉතින් ඇය ආදරය විවාහය ගැනත් මේ විදිහට පවසා තිබුණා. “මම එක කාලයකදී ආදරේ කළා. හැබැයි ඒ ආදරේ මම පරිත්‍යාග කළා. මොකද ඒ ආදරේ මට අවංක නැහැ කියලා දැනුණා. මගේ ප්‍රථම ආදරය ඒක. තාත්තාගේ වියෝවත් එක්කම තමයි මගේ ආදර කතාවත් නිමා වෙන්නේ. ආදරේ කියන්නේ සංසාරිකව පතාගෙන එන දෙයක්. ඒ කෙනා තාම මට මුණගැහුණේ නැහැ. මේ වෙනකොට නම් ආදර යෝජනා, විවාහ යෝජනා නම් ගොඩක් එනවා. ඒ හැමදේම එන්නේ දැන් මගේ රූපයට. රූපයට නැතුව ඉසංකාට ආදරය කරන කෙනෙක් මුණගැහුණ දවසක ආදරය ගැන හිතනවා. ඒ අල්ලගන්න අත මගේ අනාගත ආදරය විය යුතුයි.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *