ආදරය, ප්‍රේමය මොන විධියට හැඳින්වුවත් අපි ඒ දෙය හරියට තේරුම් අරන් නැහැ – සුර්යා දයාරුවන්

සුර්යා දයාරුවන් කියන්නේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් දක්ෂ ගායකයෙක්.ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. මේ දිනවල හිරු නාලිකාවේ විකාශනය වන ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දිවිතුරා ටෙලි නාට්‍යයේ උදුල් ලෙසින් ඔහු ප්‍රේක්ෂක ආදරය දිනාගෙන තිබෙනවා. ඉතින් මේ දවස් වල අලුත්ම තොරතුරු ඔහු පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසයි. “මේ දවස්වල මම රංගනයෙන් දායක වන දිවිතුරා ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදු වෙනවා. ඒ වගේම “දිවිතුරා” ටෙලි නාට්‍යයට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ආදරය නොඅඩුව ලැබෙනවා. මම රංගනයෙන් දායක වන අලුත් ටෙලිනාට්‍යයක් ඔක්තෝබර් මස විසි වැනිදා පටන් ගන්නවා. ඒක නම් කරලා තිබෙන්නෙ “කලියුගය” කියලා. එහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ මම. එය 70 දශකයේ කාලය පාදක කරගෙන නිර්මාණය වුණ ටෙලිනාට්‍යයක්.

මීට දින කිහිපයකට කලින් “එක රැයින්” ගීතය නිකුත් කළා. මගේ නවතම ගීතයේ නිර්මාණ කටයුතු වෙනුවෙන් ලක ලෑස්ති වෙමින් ඉන්නවා. මම ගෙවීගිය කාලයේදී සංගීතය වෙනුවෙන් අඩු කාලයක් තමයි යෙදවූයේ. ඉදිරියට සංගීතය වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. මම ඉංග්‍රීසි චිත්‍රපටයක වැඩ කටයුතු සිදු කරගෙන යනවා. ඉදිරියේදී නෙට්ෆ්ලික්ස් ෆ්ලැට්ෆෝම් එක හරහා එය නිකුත් කිරීමට කටයුතු සිදු වෙමින් පවතිනවා. ඒක නම් කරලා තිබෙන්නෙ ‘Back to Elephant Island’ කියලා. මේ චිත්‍රපටයේ හඬකැවීම් කටයුතු ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔහොම තමයි මේ දවස් ගෙවෙන්නෙ.”

ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක් විදිහට හැමදෙයක්ම සමබර කරගන්නෙ කොහොමද කියලැහැ ඔහු මේ විදිහට පවසා තිබුණා. “මේ ලෝකයේ ජීවත් වන ඕනෑම මනුස්සයෙක් තුළ ඕනෑම දෙයක් කිරීමේ හැකියාව තිබෙනවා. තමන්ට අවශ්‍ය කාලය නිසි අයුරින් කළමනාකාරණය කර ගැනීම තමයි වැදගත් වෙන්නෙ. පුද්ගලයෙක්ට එක් වෘත්තියක හිණි පෙත්තටම ගමන් කිරීමට අවශ්‍යයි නම් එම විෂය වෙනුවෙන් විශාල කැපකිරීමක් කිරීමට සිදුවෙනවා. ඇතැම් විට මම ඒ දෙය දකින්නෙ මෙන්න මේ විධියට. කලාකරුවා කියන පුද්ගලයා බොහෝ දේවල්වලට දක්ෂ පුද්ගලයෙක් වීම අවශ්‍යම දෙයක්. ගායනය, රංගනය, ඔහු චිත්‍ර ශිල්පියෙක් නම් චිත්‍ර ඇඳීම, ගීත රචනා කිරීම, කවි ලිවීම, පොත් ලිවීම මේ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පුළුල් දැනුමක් තිබීම තමයි සුන්දර කලාකරුවෙක් බිහි කරන්නෙ.

රංගනය තුළ යම් රිද්මයක් තිබෙනවා. ගායනය කියන දෙය තුළත් එවැනිම රිද්මයක් තිබෙනවා. අපි මේ රිද්මය හසුකරගන්න ඕනේ. ඒ රිද්මය අල්ලගත් පසු විශිෂ්ටයෙක් වීමේ හැකියාව ලැබෙනවා. ඒ රිද්මය තමයි අපිට අපේ තැන ලබාදෙන්නෙ. මම කාලයක් නිවේදන ශිල්පියෙක් වශයෙන් වැඩ කළා. මේ හැමදෙයත් එක්කම ජීවිතය ගලාගෙන යද්දී අපිට දැනෙන්න ගන්නවා ජීවිතයේ රිද්මය. අපි මේ සියලු දේ සමබර කර ගනිමින් ජීවත් වෙන්න ඉගෙන ගත යුතුයි. මේ දේවල් සමබර කර ගැනීමේ හැකියාව ඕනෑම පුද්ගලයෙක් තුළ තිබෙනවා. මම මගේ කාලය කළමනාකරණය කර ගනිමින් අවශ්‍ය දෙය අවශ්‍ය විධියට මට පුළුවන් උපරිමයෙන් සිදුකරගෙන යනවා. අපි ජීවත් වෙන්නෙ ඉතා පොඩි කාලයයි. ඒ කාලය තුළ අපිට ලැබෙන දෙයට උපරිම සාධාරණත්වය ඉටුකිරීම තමයි මගේ අරමුණ වෙන්නෙ.”

ඉතින් ඔහු ආදරය විවාහය ගැනත් මේ විදිහට පැවසුවා. “ආදරය, ප්‍රේමය මොන විධියට හැඳින්වුවත් අපි ඒ දෙය හරියට තේරුම් අරන් නැහැ. බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ, මහා කවියෝ සාහිත්‍යධරයො පවා මේ ගැන බොහෝ දේ කියා ලියා තිබෙනවා. එය එකිනෙකාගේ ශක්තිය සහ දරාගැනීම මත වෙනස් වෙනවා. ආදරය කියන්නෙ මේ ලෝකෙ තිබෙන ලස්සනම දෙය. ඒක අපිට තේරුම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අර ගීතයක තිබෙන්නෙ. “එනමුදු ප්‍රේමය කිමැයි කියා හදුනාගත් කිසි කෙනකු නැතේ” කියලා. ප්‍රේමය කියන්නෙ එහෙම දෙයක්.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *