සාරංග දිසාසේකර කියන්නේ ලාංකීය කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක්.ඔහු විටෙක දක්ෂ රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් ඒ වගේම නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා. ඉතින් අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනක්ෂි ප්‍රියසාද් සමඟ විවාහ වෙලා ඉන්න ඔහුට පුංචි හුරතල් දියණියකුත් සිටිනවා.ඒ තමයි සාරාන්යා. ඉතින් තාත්තා කෙනෙක් විදිහට ජිවිතය ගැන ඔහු මෙලෙසින් පවසා තිබුණා.“ඒක නම් වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීමක්. මටත් දැන් දුවෙකුගේ වගකීමක් තියෙනව නේද කියලා හිතෙනවා. කොහොමත් මං වැඩිපුරම ආස වුණේ පළමුවෙන්ම අපේ පවුලට දුවෙක් ලැබෙනවට. ඉතින් ඒ ආසාවත් ඉෂ්ට වුණා. චූටි දෝණි හරිම හුරතල්. ඒ වගේම එයා මට ගොඩක් ආදරෙයි. එයාගෙ හුරතලෙත් එක්ක කාලය ගත වෙද්දි හරිම සතුටුයි. ශේෂාද්‍රි නංගිගෙ බබයි අපේ දෝණියි තමයි මේ දවස්වල පවුලේ අවධානය දිනා ගෙන තියෙන්නේ. දැන් බබාට අවුරුද්දයි. හැමෝම මෙයා එක්ක කතා කරන නිසා එයත් දැන් වචනෙ දෙක කතා කරන්න පටන් අරගෙන. මේ කාලය හරිම සතුටින් ගෙවෙන්නේ.සමහරු එහෙම කියනවා. ඒත් වෙලාවකට මට හිතෙනවා දිනක්ෂිගෙ තාත්ත වගේත් කියලා. ඩිම්පල්ස් දෙක නම් සීයගෙ. ඇස් දෙක දිනක්ෂිගෙ වගේ කියලත් හිතෙනවා. එයා කාගෙත් සංකලනයක් කියලයි මට හිතෙන්නේ.”
ඉතින් පසුගිය දිනෙක සමරපු පුංචි සාරන්යාගේ පළමු උපන්දිනය ගැනත් හු මේ විදිහට පැවසුවා. “දෝණිගෙ උපන්දිනේ දවසෙ ගැහැනු දරුවන් ඉන්න ළමා නිවාසෙක තමයි අපි දවසම ගත කළේ. තැන් කිහිපයක්ම බැලුවත් එදා දවසෙ අපට ලැබුණෙ ගැහැනු දරුවන් විතරක් ඉන්න ළමා නිවාසයක්. අපටත් ඉන්නෙ ගැහැනු දරුවෙක් නිසා ඒකත් හොඳයි කියලා හිතුණා. ඊට දවස් දෙකකට පස්සේ හිතමිතුරන්ට සාදයක් තිබුණා. වැඩිපුරම සහභාගී වුණේ ක්ෂේත්‍රයේ අපේ පරම්පරාවේ අය. ගොඩක්ම කුඩා දරුවන් ඉන්න අය. ඒ හැමෝම දෝණිට සුබ පැතුවෙ හරිම ආදරෙන්.”
ඉතින් කලා පවුලකින් පැවත එන ඔහු රංගනයට පිවිසුණු විදිහත් මේ විදිහට පැවසුවා. “මම කුඩා කාලෙම තමයි අම්මගේ අතේ එල්ලිලා ගුවන්විදුලියටයි, රූපවාහිනියටයි එන්නේ. ළමා ශිල්පීන්ගේ පරීක්ෂණවලින් සමත් වෙලා ළමාපිටිය වගේම ගුවන්විදුලි නාට්‍යවලටත් සම්බන්ධ වුණා. රූපවාහිනියේ අතුල රන්සිරිලාල් මහත්මයා යටතේ හඬකැවීම් පුහුණු වුණා. එතැන තමයි අඩිතාලම. ඒ ලැබුණු පන්නරය පසුකාලීනව රංගන දිවියට අත්වැලක් වුණා කියලයි මට හිතෙන්නේ.සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ ‘ස්මරණ සමාප්ති‘ටෙලි චිත්‍රපටය තමයි මගේ පළමු කලා නිර්මාණය. ඊට පස්සේ අධ්‍යාපන කටයුතුවලට වැඩිපුර කාලය යොදවන්න වුණා. පරිගණක ක්ෂේත්‍රයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුව නිසා පිටරට යන්න අවස්ථාව ලැබුණා.
ඊට කලින් මං ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා තිබුණත් ඒක විකාශය වෙද්දි මං මෙහේ හිටියෙ නෑ. ඒක දැකපු කිහිප දෙනෙක්ම මං ගැන හොයලා තිබුණා. ලංකාවට ආවට පස්සේ සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ තිර පිටපතකට ප්‍රේමකුමාර ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘පිපි පියුම්’ ටෙලි නාට්‍යයේ සරෝජ්ගේ චරිතයට මාව තෝරගත්තා. ඉන්පස්සේ දිගටම නිර්මාණවලට දායක වුණා. ‘බොඳ මීදුම්’ ගොඩක් ජනප්‍රිය වුණා.මෙහිදී ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයා මතක් නොකරම බෑ. බොළඳ ප්‍රේමවන්තයාගෙන් මිදිලා කළු, අළු චරිත සඳහා මාව පොලඹවලා චරිතාංග නළුවෙක් වෙන්න අවශ්‍ය චරිත ලබාදුන්නේ ඔහුයි. ඒක අවදානමක් වුණත් ජනප්‍රියත්වය ගැන නොසිතා ඒ අවදානම ගත්ත නිසා තමයි මං වෙනස් චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට ගිහින් සාර්ථක වුණේ. ‘මුතු පලසෙ’ සාගර ඉද්දමල්ගොඩ කියන ටෙලි අධ්‍යක්ෂකගෙ චරිතය, ‘හාරකෝටියේ’ සාරා, ‘හංස පිහාටුවේ’ මෝරැල්ලේ කිත්තා, ‘වස්සානයේ ප්‍රේමය’හි ආධිත්‍ය වගේම හොඳම නළුවාට නිර්දේශ වුණ රුක්මාල් නිරෝෂ්ගේ ‘සුළඟ මත මොහොතක්’හි අසංක ගොඩක් සාර්ථක වුණා වගේම ජනප්‍රියත් වුණා.ඒ අතර වේදිකා නාට්‍ය සඳහාත් දායක වුණා. මේ වෙද්දි වේදිකා නාට්‍ය 10ක් විතර කරලා තියෙනවා. ‘මාර හොරු’ නාට්‍ය හොඳම නළුවාට නිර්දේශ වීමත් සතුටක්. සිනමාවටත් සම්බන්ධ වුණා.”