ආදර යෝජනා ආවට මම තාම පෙම්වතියක් නෙවෙයි – එමාෂා සෙනෙවිරත්ත

දෙවැනි ඉනිමේ සහේලි ලෙසින් රංගනයට පිවිසුණු එමාෂා සෙනෙවිරත්ත මේ වනවිට අපේ රටේ ඉන්න ජනප්‍රියතම රංගන ශිල්පිනියක් වෙලා. ඇය මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන හිත ළඟ හිනැහුනා ටෙලි නාට්‍යයේ සයුරි ලෙසින් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වෙලා තිබෙනවා. ඉතින් මේ දවස් වල විස්තර ඇය පුවත්පතකට මෙලෙසින් පවසා තිබුණා. “සුපුරුදු පරිදි වැඩ කටයුතු හොඳින් කරගෙන යනවා. සිරස TV නාළිකාවේ “හිත ළඟ” හිනැහුණා ටෙලි නාට්‍යයට තමයි මේ දිනවල රංගනයෙන් දායක වෙන්නේ. ඒ වගේම සියත නාළිකාව තුළින් විකාශය වුණු “විසේකාර හාදුවක්” සහ ITN නාළිකාවේ “හිතුවක්කාරී” යන නාට්‍ය දෙකෙහිම විකාශය මෑතකදී අවසන් වුණා. එම නිසා කාර්යබහුලත්වය තරමක් අඩුයි.”

ඉතින් ඒ වගේම ITN නාලිකාවේ විකාශනය වූ හිතුවක්කාරී ටෙලි නාට්‍යයේ රන්මිණි කියන්නේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් චරිතයක්.ඒ ගැන ඇය මේ විදිහට පැවසුවා. “අනිවාර්යයෙන්ම “හිතුවක්කාරී” කියන්නේ මගේ රංගන ජීවිතයට විශාල ආශීර්වාදයක් වුණ නිර්මාණයක්. ඒ නිර්මාණයට මගේ තිබෙන ආදරය මෙච්චරයි කියන්න බැහැ. මගේ රංගන කුසලතාව පෙන්වන්න “රන්මිණි” කියන චරිතය ඉතාම හොඳ භූමිකාවක් වුණා. තවමත් ඒ නිර්මාණයට ලැබෙන ප්‍රතිචාරවල අඩුවක් වෙලා නැහැ. දැනටත් YouTube එකෙන් නාට්‍ය බලලා මට කතා කරන බොහෝ දෙනෙක් සිටිනවා. හිතුවක්කාරීට හිතුවට වඩා ගොඩාක් යහපත් ප්‍රතිචාර වගේම ඇගයීම් ගොඩක් රසිකයන්ගෙන් ලැබුණා.

නිහතමානීව ඒ ගැන සතුටු වෙනවා වගේම ඒ ලබාදෙන ආදරයට, ගෞරවයට මම හදවතින්ම රසිකයන්ට ස්තූතියි කියනවා. මහේෂ් සත්සර මද්දුම ආරච්චි මහත්මයාගේ අතින් තමයි හිතුවක්කාරී ලියැවුණේ. පිටපත මුලින්ම කියෙව්වට පස්සේ මට මේ චරිතයට ගොඩක් ආස හිතුණා. හිතුවක්කාරී කියන්නේ වර්තමාන සමාජයට හොඳින් ගැළපෙන, පවුලේ කතාවක්. මට ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් වේවි කියන විශ්වාසය තිර පිටපත කියෙව්වට පස්සේ හිතුණා. එහි මට තිබුණේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්න. එය මට වටින අවස්ථාවක්. ඒ නිසයි ඒ ආරාධනය සතුටින් භාර ගත්තේ.”

ඉතින් ඇයට ලැබෙන ආදර යෝජනා ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “ආදර යෝජනා නම් එනවා. නමුත් මම දැනට ආදරවන්තියක් නෙවෙයි. ඒක නම් ගොඩක් හිතලා ගන්න ඕනෙ තීරණයක්. මම විශ්වාස කරන විධියට ජීවිතයේ ඉදිරි කාලය අපි අද ගන්න ඒ තීරණය මත රඳා පවතිනවා. ඒ නිසා හොඳින් කල්පනා කරලා සුදුසු කෙනෙක්ව තෝරා ගන්න තමයි බලාපොරොත්තුව.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *