පිරිමි ලස්සන වයසට ගියාට පසුව. මගේ වයස දැන් අවුරුදු හතලිස් අටක්

ලාංකීය කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක් තමයි සුජීව ප්‍රියාල් කියන්නේ. මේ දිනවල විකාශනය වන ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයක් හරහාම ඔහු අපේ ආලින්දයට එනවා. ඉතින් ඒ ගැන ඔහු මේ විදිහට පැවසුවා. “මම සෑහෙන්න කාලෙකට පස්සේ ආයෙමත් ටෙලිනාට්‍යවල රඟපාන්න පටන්ගත්තේ. පසුගිය කාලේ සුපර්ණා චිත්‍රපටයටයි ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍යටයි කාර්යබහුල වුණා. සමහර අවස්ථාවලදි ටෙලිනාට්‍යවල රඟපාන්න ආරාධනා ලැබුණත් කාර්යබහුලකම නිසා ඒවාට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. අවුරුදු පහකට විතර පසුව තමයි මම ටෙලිනාට්‍යවල රඟපන්න පටන්ගත්තේ. චිත්‍රපටය තිරගත වුණු පසුව මට පොඩි නිදහසක් ලැබුණා. දැන් ඒ නිදහසෙන් ප්‍රයෝජන ගන්නවා.දිවි තුරා ටෙලිනාට්‍යයේ තේමියගේ චරිත ගොඩක් වෙලාවට ප්‍රේක්ෂකාගාරය කැමති චරිතයක්. ජනප්‍රිය නාළිකාවක රියැලිටි වැඩසටහනක නිෂ්පාදකගේ භූමිකාව මට පැවරෙන්නේ.

මෙවැනි චරිතවල අපිට පසුබිම දකින්න ලැබෙන්නේ නැහැ. ලංකාවේ රියැලිටි කලාව තුළ දැවැන්ත පෙරළි කරපු අය ඉන්නවා. උදාහරණයක් විදිහට නිලේන්ද්‍ර දේශප්‍රිය, නිමල් ලක්ෂපතිආරච්චි වගේ අයගේ නම් මුලින්ම සඳහන් කරන්න ඕනේ. අනෙක් නාළිකාත් මෙවුන් අනුකරණය කරමින් තමයි රියැලිටි කරන්න ගත්තේ. මේ දැවැන්ත චරිත රියැලිටි වැඩසටහන්වකින් ප්‍රේක්ෂකයාට දකින්න ලැබෙන්නේ නැහැ. කලාකරුවන්, තරගකරුවන්, විනිශ්චය මණ්ඩලය, නිවේදකයන් වගේ අය විතරයි පෙනෙන්න ඉන්නේ. නමුත් වේදිකාව පසුපස ඉඳලා මේ හැමදේම මෙහෙයවන චරිතය තමයි නිෂ්පාදකවරයා කියන්නේ. තේමියගේ චරිතයේ සුදු සහ කළු දෙපැත්තම තියෙනවා. ඒ චරිතයට මම ආදරෙයි. තේමිය කියන්නේ වැඩසටහන් වෙනුවෙන් තමන්ගේ නාළිකාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරපු චරිතයක්. තේමියට රියැලිටි වැඩසටහන තුළ ඇතැම් අයගෙන් දෝෂාරෝපණයට ලක්වෙන්න වෙනවා.

ඒ වගේම දිවි තුරා ටෙලිනාට්‍යය බලන ප්‍රේක්ෂකාගාරයෙනුත් නිතරම ආවේගශීලීව කෑගහනවා කියලා දෝෂාරෝපණ එනවා මට. සමස්තයක් විදිහට ගත්තාම නාළිකාවල වැඩසටහන් තුළ මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ වගේ චරිත ඉන්න පුළුවන්.දිවි තුරා ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ චාමර ජයවීර කියන්නේ මගේ හිතවතෙක්. ඔහුව මම කලින් ඉඳලාම දන්නවා. ඔහු එක්ක වැඩ කරලා තියෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ චාමර ජයවීර කියන්නේ ටෙලිවිෂන් කලාවේ ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක්. ඔහුට රියැලිටි වැඩසටහන් ගැන හොඳ අවබෝධයක් සහ දැනුමක් තියෙනවා. චාමර මට කතා කරලා කරල මේ චරිතය ගැන සහ රියැලිටි වැඩසටහන් ගැන යම් යම් දේවල් කිව්වා. ඒ වගේම මම හිරු නාළිකාවේ පවත්වන සජීවී වැඩසටහන් සහ රියැලිටි වැඩසටහන් බලන්න ගියා. මට ඒක හොඳ අත්දැකීමක්. රංගන ශිල්පියෙක් වුණාම අපිට හැම වෙලාවෙම ඉගෙන ගන්න දේවල් තියෙනවා. අපි අවට ඉන්න චරිතවල දේවල් උදුරගන්න තියෙනවා. මේ චරිතයේ සමහර දේවල් මම චාමරගෙන් හොරකම් කරගත්තා, සමහර දේවල් චාමර මට කියලා දුන්න දේවල්.”

“අලුත් වැඩක් කරන්න බොහොම කැමතියි.මේ හැමදෙයකම අවසානය වාණිජ පරමාර්ථයක් තියෙනවා. එතකොට ඒ පරමාර්ථය තුළ කවුරු හරි කෙනෙක් නිර්මාණයකට මුදල් යොදන්නේ පර්යේෂණ කරන්න නෙමෙයි. ඔවුන් මුදල් දාන්නේ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන්. ඒත් දැන් මාධ්‍ය ආයතන පවා රටේ තියෙන තත්ත්වයත් එක්ක අමාරුවෙන් යන්නේ. ටෙලිනාට්‍යයකට යොදවන මුදල් නැවත ගන්න අපහසුයි. අලුත් වැඩ කරන්න කැමතියි. ඒත් දැන් තියෙන තත්ත්වයත් එක්ක ඒ වැඩවලට ප්‍රතිපාදන යොදවන්න නිෂ්පාදකයෝ මැලි වෙනවා.

“පිරිමි ලස්සන වයසට ගියාට පසුව” බව බොලිවුඩ්, හොලිවුඩ් රංගන ශිල්පීන්ගෙන් වගේම ලංකාවේ රංගන ශිල්පීන්ගෙනුත් ඔප්පු වෙනවා කියලා සමාජ මතයක් හැදිලා තියෙනවා. සයිබර් අවකාශයේ ඔබවත් ඒ සඳහා උදාහරණයට ගන්නවා.
ඇත්තටම ප්‍රශ්නෙ තියෙන්නෙ වයස නෙමෙයි. තමන් හිතන විදිහයි ප්‍රශ්නේ. හැමෝම මගෙන් අහනවා කොණ්ඩේ පාට කරලාද කියලා. එතකොට මම කියන්නේ පාට කරන එක නතර කළා කියලා. මගේ වයස දැන් අවුරුදු හතලිස් අටක්. ඒ වයසට මම මෙහෙම ඉන්නවා. ඇත්තටම ඔය හැඩරුව ගැන ප්‍රතිචාර ප්‍රතිචාර මං බලාපොරොත්තු වුණු දෙයක් නෙමෙයි. සුපර්ණා චිත්‍රපටයේ රඟපාන්න චිත්‍රපටයේ රඟපාන්න රංගන ශිල්පීන්ව මොරාල් කරන්න මමත් මගේ කොණ්ඩෙ තට්ටෙ ගෑවා. තට්ටෙ ගාලා ආයෙමත් කොන්ඩ එද්දී තමයි මම දන්නෙත් මේ වගේ කොණ්ඩයක් මට තියෙනවා කියලා. දැන් ඒක වෙනම විලාසිතාවක් වෙලා තියෙනවා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *