ආදරේ කියන්නේ හිමි වීමට නෙවෙයි. එයා කොහේ හරි සතුටින් ජීවත් වෙන්නයි ඕනැ – දුෂේනි

මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන ඉතාමත්ම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන පාරදිගේ ටෙලි නාට්‍යයේ බන්ටි එහෙමත් නැතිනම් සරණි කියන්නේ ප්‍රේක්ෂක හදවත් දිනාගත් චරිතයක්.මෙම චරිතය නිරුපනය කරන්නේ ඉතාමත් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් වන දුෂේනි ඩි සිල්වා කියන්නේ. ඉතින් ඇය මේ දිනවල ITN නාලිකාවේ විකාශනය වන විදුරු මල් ටෙලි නාට්‍යයේ විනුෂා ලෙසත් අපේ ආලින්දයට එනවා. ඉතින් මේ දවස් වල අලුත්ම තොරතුරු ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසයි. “ජීවිතේ හොඳයි. සාමාන්‍ය විදිහට ගලාගෙන යනවා. හැබැයි ඉතින් ටිකක් බිසී. පාර දිගේ ටෙලි නාට්‍යයට අමතරව තව නිර්මාණ කිහිපයක වැඩ ආරම්භ වුණා. ඒ අතරින් චාමර ජනරාජ් පීරිස් මහත්මාගේ තිර රචනයක් සහ අධ්‍යක්‍ෂණයක් වන වීදුරු මල් මේ දිනවල විකාශය වෙනවා. එහි රූගත කිරීම්වලටත් දායක වෙනවා.”

ඉතින් පාරදිගේ බන්ටිට ලැබෙන ප්‍රතිචාර ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “පාර දිගේ කියන්නේ ඇත්තටම මගේ ජීවිතේ වෙනස් කරපු ටෙලි නාට්‍යය. ඒ ටෙලි නාට්‍යයේ බන්ටි කියන්නේ මට මහා ලොකු ප්‍රේක්‍ෂක ආදරයක් ගෙනැල්ලා දුන්න චරිතය. බන්ටි කියන්නේ මගේ රංගන ජීවිතේ එක හැරවුම් ලක්‍ෂ්‍යයක්. මම නිර්මාණ කිහිපයකටම දායක වෙලා හිටියත් මාව ගොඩක්ම ප්‍රේක්‍ෂකයෝ අතරට ගියේ බන්ටි නිසා. ඇත්තටම 2019 සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයෙන් පස්සේ මම යනවා ඉන්දියාවට.

ඒ ගිහින් අවුරුද්දක් පමණ මම ඒ රටේ කලා ක්ෂේත්‍රය නිරූපණය පැත්තෙන් වැඩ කටයුතු කිහිපයක් කළා. ඒ අතරතුර දී මම ලංකාවට ආව වෙලාවෙදි කොරෝනා එක්ක මම ලංකාවේ හිරවුණා. ඊට පස්සේ මාස 6ක් විතර මම ලංකාවේ කලා කටයුතුවලට දායක වුණේම නැහැ. ගෙදරට වෙලා ඉන්නකොට තමයි ශිවගුරුනාදන් මහත්මයා පාරදිගේ ටෙලි නාට්‍යයට මට කතා කළේ. ඇත්තටම මම මුලින් කැමති වුණේ නැහැ. සද්ධා මහත්මයාගේ පිටපත කියෙව්වාම බන්ටි කියන චරිතය ඇතුළෙ මට කරන්න දෙයක් තියෙනවා කියලා හිතුණා.බන්ටි කියන චරිතයට මාව තෝරා ගැනීම ගැන සද්ධා මහත්මා, ශිවා මහත්මා ඇතුළු ඒ මුළු කණ්ඩායමටම මම ස්තූතිවන්ත වෙනවා. මෙහි මම නිරූපණය කරන්නේ ද්විත්ව චරිතයක්. විශේෂයෙන් බන්ටිව ගොඩනගන්න ශිවා මහත්මයා, මට ලොකු සහයෝගයක් දෙනවා. බන්ටි කියන චරිතය සාර්ථකව මේ තරම් දුර ගේන්න පුළුවන් වුණේ ඒ නිසා.”

ඉතින් විදුරු මල් ටෙලි නාට්‍යය ගැනත් ඇය මේ විදිහට පවසා තිබුණා. “වීදුරු මල් ටෙලි නාට්‍යයේ මම නිරූපණය කරන්නේ විනුෂා කියන වෛද්‍යවරියකගේ චරිතයක්. විනුෂා මට ටිකක් අභියෝගයක් ගෙන දුන් චරිතයක්. විනුෂා කියන්නේ ටිකක් දැඩි චරිතයක්. ආරාධනා කරනවා හැමෝටම වීදුරු මල් එක්ක එකතු වෙන්න කියලා. මේක බොහොම ලස්සන නිර්මාණයක්.”ඉතින් ITN අවුරුදු කුමරිය ලෙසින් කලා ලොවට පිවිසුණු ඇය ඒ අතීත මතක මේ විදිහට ආවර්ජනය කර තිබුණා.

“මගේ ගම කුරුණෑගල. පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි. මම උසස් පෙළ කරලා අවුරුදු කුමාරි තරගයට ආවෙත් ඇත්තටම තාත්තාගේ කැමැත්තෙන්ම. අවුරුදු කුමාරි තරගයෙන් මම දොළොස් දෙනා අතරට විතරයි ආවේ. එදා මම පැරදුන නිසා මම හිතා ගත්තා කොහොම හරි මම මගේ ගමන යනවා කියලා. ඒ අතරතුර මියුසික් වීඩියෝ, ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා. ඒ අතරෙදි 2017 මිස් ශ්‍රී ලංකා වුණා. ඒකත් තාත්තාගේ හීනයක්. ඇත්තටම මාව මේ දේවල්වලට යොමු කරන්න කැප වුණේ මහන්සි වුණේ තාත්තා. අම්මාත් එහෙමයි. අම්මා මගේ පස්සෙන්ම හිටියා.”ඉතින් ඒ වගේම ආදර විවාහය ගැනත් මේ විදිහට පැවසුවා. “හරි විදියට හරි කෙනෙක් ලැබුණොත් ජීවිතේ ලස්සනයි. මට ඒක හරි විදිහට ලැබුණද කියන්න මට තේරෙන්නේ නැහැ. හැබැයි මම මිනිස්සුන්ගේ සබඳතාවලට, බැඳීම්වලට චුට්ටක් බයයි. ආදරේ කියන්නේ හිමි වීමට නෙවෙයි. එයා කොහේ හරි සතුටින් ජීවත් වෙන්නයි ඕනැ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *