වෘත්තීය ජීවිතයේ හොඳම කාලයේ තමයි බබාලා හම්බවුණේ – නදීෂා අලහප්පෙරුම

නදීෂා අලහප්පෙරුම කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක්. දශක දෙකකට ආසන්න කාලයක් පුරාවටම කලා ලෝකයේ ආදරය එකසේ දිනාගෙන සිටින ඇය දැන් දෙදරු මවක්.ඇය මේ දිනවල විදුරු මල්, නිල පබළු, බොනිකර තරු ආදී ජනප්‍රිය ටෙලි නාට්‍යය ගණනාවකින්ම අපේ ආලින්දයට එනවා. ඉතින් දරුවන් දෙදෙනෙකුගේ මවක් ලෙසින් රංගනය කරගෙන යන ආකාරයත් මේ විදිහට පැවසුවා. “මම මේ දිනවල වැඩ කළා. හැබැයි බබාල දෙන්න හම්බවුණාට පස්සේ වැඩ කිරීම චුට්ටක් විතර අඩු කළා. යළිත් රවි අයියලත් එක්ක වැඩ කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. වැඩ නම් ගොඩක් කරනවා. නැත්තේ නැහැ. බබාල දෙන්නා දැන් ඉස්කෝලෙ යනවා. ඒගොල්ලන්ගේ වැඩ කටයුතු තමයි ප්‍රධානම දේ.

ඊට අමතරව රඟපෑම කියන්නේ මගේ වෘත්තිය. දෙකම සමබරව කරගෙන යනවා. නමුත් වැඩි අවධානය යොමු කරලා තියෙන්නේ දරුවො දෙන්නා වෙනුවෙන්. කොහොම වුණත් එන හොඳ වැඩක් භාරගෙන කරනවා. මම මේ වෙනකොට ටෙලිනාට්‍ය හතරක විතර වැඩ කරනවා. ඉස්සර තරම් අපි කිසිම කෙනකුට එහෙම ලොකුවට වැඩ නැහැ මේ කාලයේ. මේ කාලයේ ටෙලිනාට්‍ය කරනවත් අඩුයි. නමුත් යම්කිසි ප්‍රමාණයකට වැඩ නැහැ කියලා කියන්නත් බැහැ. මගේ ටෙලිනාට්‍ය දෙකක් විකාශනය වෙලා අවසන් වුණා. දැන් බොනිකර තරු වගේම නීල පබළු ටෙලිනාට්‍ය විකාශනය වෙනවා.අම්මව ටීවී එකෙන් දකිද්දී දුව තමයි ගොඩක්ම සතුටු වෙන්නේ. පුතත් එහෙම තමය.ි මොකද ඒගොල්ලන්ගේ යාළුවෝ කියනවලු අම්මාව දකිනවා ටීවී එකෙන් කියලා. ඔවුන් ඒවා මාත් එක්ක බෙදා ගන්නවා. විශේෂයෙන් දුව තමයි ගොඩක් කලාවට කැමැති. දුව සෝමරත්න දිසානායක මහත්මයාගේ වගේම සංජීව පුෂ්පකුමාර මහත්මයාගේ චිත්‍රපටවලත් රඟපාලා තියෙනවා.”

ඒ වගේම රංගන ක්‍ෂේත්‍රය ගැන ඇය මේ විදිහට අදහස් දැක්වුවා. “ක්‍ෂේත්‍රයට දැන් අලුත් අය ගොඩක් ඇවිත් තියෙනවා. ඒක වෙන්න ඕනෑ දෙයක්. මමත් ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහඅටක් වෙනවා. මම සතුටු වෙනවා මට අදටත් වැඩ තිබෙන එක ගැන. මම කාලයක් රඟපාන්නේ නැතිව හිටියා. මගේ වෘත්තීය ජීවිතයේ හොඳම කාලයේ තමයි බබාලා හම්බ වුණේ. ඒ නිසයි ක්‍ෂේත්‍රයෙන් ඉවත් වුණේ. නැවතත් රඟපෑමට එනකොට අලුත් මුහුණු ගොඩක් ඇවිත් තිබෙනවා. ක්‍ෂේත්‍රය ඇතුළේ මම හදාගත්තු මොකක් හරි නිසා වෙන්න ඇති මට අදටත් වැඩ තියෙන්නේ. අලුත් අය එන්න ඕනෑ.ඇත්තට ම අපිට එදා කරපු චරිත අද කරන්න බැහැ. සමහරවිට අපේ අත්දැකීම් එක්ක වගේම අපේ වයසත් එක්ක වෙනස් චරිත තමයි අපිට කරන්න සිද්ධ වෙන්නේ.

මම හිතන්නේ ඒ පරපුර අභියෝගයක් නෙමෙයි. ඔවුන් එක්ක ඉතාමත් සුහදව වැඩ කරන කොට හරි ලේසියි. ගොඩක් අය කියනවා අලුත් අයත් එක්ක වැඩ කරන්න අමාරුයි කියලා. අපිත් ගොඩක් ප්‍රවීණයෝ නෙමෙයි. අපි හැම කෙනෙක්ම ආදරය කරන මිනිස්සු, අලුත් පරණ කියලා භේදයක් නැහැ. හැමෝත් එක්කම වැඩ කරන්න පුළුවන් නම් තමයි හොඳ.ජනප්‍රියත්වය කියන්නේ හරිම තාවකාලික දෙයක්නේ. ‘ජීවිතය ලස්සනයි’ කරන කොට තිබුණ ජනප්‍රියත්වය ඒකාලේ තිබුණා. ඊට පස්සේ අලුත් මුහුණු එකතුවෙලා තිබෙනවා. ඒ කාලේ සෝෂල් මීඩියා තිබුණේ නැහැ. අද කාලේ ඉතාමත්ම ලේසියි ජනප්‍රිය වෙන්න. ඒ කාලේ අපිට පත්තරවලින් ගොඩක් උදව් කළා. නමුත් අද කාලේ කෙනකුට ජනප්‍රිය වෙන්න සෝෂල් මීඩියා තියෙනවා. ප්‍රචාරය කරගන්න හරිම ලේසියි. අද අපිට තියෙන ජනප්‍රියත්වය හෙට තව කෙනකුට ඇති වෙන්න පුළුවන්. ජනප්‍රියත්වයට වඩා තමන්ගේ දක්‍ෂතාවයෙන් යමක් කරලා තියෙනවා නම් ඒක තමයි ප්‍රේක්‍ෂකයන්ට මතක හිටින්නේ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *