මං හිතන්නේ ආදරය කියන්නේ මානසික නිදහස – කළිඳුගෙන් වෙන්වුණු මනිෂා කියූ කතාව

මනීෂා චන්චලා කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ඒ වගේම සුරූපී රංගන ශිල්පිනියක්.ඉතින් මේ දවස් වල අලුත්ම තොරතුරු ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසයි.“මේ දවස්වල මං සංගීත විශාරද විභාගයේ අවසාන විභාගයට සූදානම් වෙමින් ඉන්නේ. ඒ වෙනුවෙන් තමයි වැඩි කාලයක් යොදවන්නේ. ඊට අමතරව ස්වර්ණවාහිනියේ හද රැඳි පැයේ නිවේදන කටයුතු කරනවා.”

සිදු ටෙලි නාට්‍යයේ තේරුණි ලෙසින් රසික හදවත් දිනාගත් ඇය ඒ ගැනත් මේ විදිහට පවසා තිබුණා. “සිඳූ ටෙලි නාට්‍යයේ තෙරුණි කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. සිඳූ, සෝරත පොඩි හාමුදුරුවෝ වගේ ළමා චරිතවලට වගේම තෙරුණි කියන චරිතයටත් එහි ලොකු ඉඩක් දුන්නා. වයස් භේදයක් නැතුව ප්‍රේක්ෂකයන් එය ආදරයෙන් වැලඳ ගත්තා. මනීෂා චංචලා කියන නම නොදන්න කෙනෙක් වුණත් තෙරුණිව දැනන් හිටියා. ඒ ලැබුණු ආදරය මට ගොඩක් වටිනවා. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් චරිතයක් ඔස්සේ ප්‍රේක්ෂකයා වැලඳගත්තා නම් ඇත්තටම එය ඔහුට හෝ ඇයට ලොකු ආශීර්වාදයක්. මටත් ඒ ආශීර්වාදය තෙරුණි නිසා ලැබුණා.”

ඉතින් ලිට්ල් ස්ටාර් පුංචි තරුවක් ලෙසින් කලා ලොවට පෑයු ඇය ඒ ගැනත් මේ විදිහට පැවසුවා. “මම ළමා වියේදීමයි කලාවට සම්බන්ධ වුණේ. ඒ කඳුරට ගුවන්විදුලියේ ළමා නිවේදිකාවක් හා ළමා ගායිකාවක් විදියට. ඒ ලැබුණු අත්දැකීම් මෙතෙක් ආපු ගමනට ලොකු පන්නරයක් වුණා. ඉන්පස්සේ තමයි දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට ඉදිරිපත් වුණේ. නමුත් හැමෝම මාව අඳුනගත්තේ රංගන ශිල්පිනියක් විදියට. මුලින්ම රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වුණු ජානක සිරිවර්ධනගේ වස්සාන සිහිනය ටෙලි නාට්‍යයේ මනූෂා කියන ළමා චරිතයෙන්. ඒ 2009 දී. දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාගේ ආරාධනයක් අනුවයි එයට සම්බන්ධ වුණේ. ඊට පස්සේ දිගටම ටෙලි නාට්‍ය ගණනාවකට සම්බන්ධ වුණා. කිරුළි, කුමී, සිහින සමාගම, සිල්ලර සමනල්ලු, ලොකු අයියා, අක්ක නගෝ, අමුතු රසිකයා, ගුග්ලි, හාර්ට් chart වගේ ඒවා ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඒ අතරේ ඒකාංගික ටෙලි නිර්මාණ කිහිපයකටත් සම්බන්ධ වුණා.මම තවම සිනමාවට රංගනයෙන් දායක වෙලා නෑ. ඒත් වී. සිවදාසන් මහතාගේ චිත්‍රපට 3කටම ගායනයෙන් දායක වෙලා තියෙනවා. හොඳ චරිතයක් සඳහා ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. වේදිකාව කියන්නේ මං ආසම තැනක්. තවමත් අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ සඳහා ඉතාම ආසාවෙන් බලා ඉන්නවා.”

ඒ වගේම ආදරය ගැනත් ඇය මේ විදිහට පවසා තිබුණා. “ආදරය කියන්නේ පුළුල්ව කතා කළ යුතු දෙයක්. මමත් ආදරය කරලා තියෙනවා. ඒත් මං හිතන්නේ ආදරය කියන්නේ මානසික නිදහස. අපි හැමෝම පොඩි කාලේ ඉඳන්ම මනස නිදහසේ රැඳුන තැන තමයි ආදරේ පිරුණු තැන විදියට දැක්කේ. ඒක ජීවිත කාලෙම එහෙම වෙන්න ඕන කියලයි මං හිතන්නේ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *